ශ්‍රී ලංකාව සහ චීනය ආර්ථික පුනර්ජීවනය සහ කොවිඩ්-19 ආධාර පිළිබඳව සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාව සහ චීනය ආර්ථික පුනර්ජීවනය සහ කොවිඩ්-19 ආධාර පිළිබඳව සාකච්ඡා කරයි

අසල්වැසි රටවල් සමඟ පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්‍රයත්නයේ ප්‍රථිඵලයක් ලෙස, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු හා රාජ්‍යතාන්ත්‍රි‍ක නිලධාරි යැන්ග් ජියේචි මැතිතුමා සහ චීනයේ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ සභාපති වැන්ග් ෂියාතාවෝ මැතිතුමා සහ චීන විදේශ අමාත්‍යාංශයේ නිලධාරි චෙං සොන්ග් මහතා යන අයගෙන් සමන්විත ඉහළ පෙළේ චීන දූත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා සිකුරාදා (9) දින විදේශ අමාත්‍යාංශය විසින් කටයුතු සලසන ලදී.

මෙම නියෝජිත පිරිස ඔක්තෝබර් 9 වැනි සිකුරාදා දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ රජයේ අමාත්‍යවරුන් සහ සම්භාවනීය අමුත්තන්ගේ ද සහභාගිත්වය ඇතිව සාකච්ඡා පැවැත්වීය.

ආර්ථික සහයෝගීතාව පිළිබඳව සමාලෝචනය කරමින්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඇමරිකානු ඩොලර් බිලියන 3කට අධික වටිනාකමින් යුත් චීන ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතිවල උත්ප්‍රේරක භූමිකාව සහ මෙම ව්‍යාපෘති මඟින් මෙතෙක් ජනනය කර ඇති සැලකිය යුතු රැකියා අවස්ථා සංඛ්‍යාව පිළිබඳව නායකයෝ සිහිපත් කළහ. මෙරට සිදුකරන මෙම මහා පරිමාණ විදේශ සෘජු ආයෝජනවල පූර්ණ විභවයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කඩිනමින් එම ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව නියෝජිත කණ්ඩායම සහ රජය අවධාරණය කළේය.

කොවිඩ් වසංගත සමයේ දී චීන රජය විසින් ලබා දුන් ඉමහත් සහයෝගය සිහිපත් කරමින්, චීන රජය විසින් නිරන්තරයෙන් ලබා දෙන වටිනා සහය සහ සහයෝගීතාව පිළිබඳව ජනාධිපතිතුමා නියෝජිත කණ්ඩායමට ස්තූතිය පළ කළේය. උතුරේ මානුෂීය මෙහෙයුමේ දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය හා සහයෝගීතාවය දැක්වීම සහ දුෂ්කර අවස්ථාවල දී මානව හිමිකම් කවුන්සිලය තුළ චීනයෙන් ලද ස්ථිර සහයෝගය පිළිබඳව නායකයින් සිය කෘතඥතාව පළ කළහ.

දෙදිශාවටම සිදුකෙරෙන වෙළඳාම පිළිබඳව සමාලෝචනය කරමින්, දෙරට අතර වෙළඳ පිරිවැටුම ඉහළ නැංවීම සහ දැනට චීනයට වාසිදායක ලෙස පවතින වෙළඳ ශේෂය වැඩිදියුණු කිරීම සඳහා, චීන දේශීය වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් පැවතිය හැකි ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෙළඳ භාණ්ඩ කිහිපයක වෙළඳපල ප්‍රවේශය සඳහා පහසුකම් සපයන ලෙස රජය චීන නායකයින්ගෙන් ඉල්ලා සිටියේය. වෙළඳ පරිමාව වැඩි කිරීම සඳහා චීනයට සිදුකෙරෙන අපනයන ගොන්න පිළිබඳව සමාලෝචනය කළ යුතු බවත්, ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ඇණහිට ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවත් පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ චීන නායකයින්ගේ මෙම පළමු ශ්‍රී ලංකා සංචාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය විධිවිධානවලට දැඩි ලෙස අනුකූල වෙමින් ගුවන් බුබුළු සංකල්පයක් යටතේ සංවිධානය කරන ලදී.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 ඔක්තෝබර් 09 වැනි දින

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close