විදේශ අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීහු දඹුල්ලේ දී බාහිර පුහුණුවට සහභාගී වෙති

විදේශ අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීහු දඹුල්ලේ දී බාහිර පුහුණුවට සහභාගී වෙති

විදේශ අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් විසින් 2020 ඔක්තෝබර් 02-04 දිනවල දඹුල්ලේ පිහිටි සමාජ දෘෂ්ටිවාදය සංවර්ධනය සඳහා වූ බාහිර පුහුණු මධ්‍යස්ථානයක් වන රංගිරි ඇක්වා හි දී බාහිර පුහුණු වැඩසටහනක් සාර්ථකව නිම කරන ලදී. විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවති මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලද්දේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම්, පර්යේෂණ හා මානව සම්පත් සංවර්ධන අංශය විසිනි.

කණ්ඩායම් ලෙස කටයුතු කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම, කණ්ඩායම් අතර සබඳතා යළි පණ ගැන්වීම, වඩා හොඳ සන්නිවේදනය සහ නායකත්ව කුසලතා අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා විදේශ සේවය, පරිපාලන සේවය සහ ගණකාධිකාරී සේවයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙම අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පළමුවැනි බාහිර පුහුණු වැඩමුළුව මෙය වේ. මෙම බාහිර පුහුණු සැසිවාරයට අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් 58 දෙනෙක් සහභාගී විය.

කාර්යාලයෙන් බැහැර දඹුල්ලේ පිහිටි පරිසරයක දී, මෙම නිලධාරීහු කණ්ඩායම් ගොඩනැගීමේ සංකල්ප, කණ්ඩායම් මනෝ විද්‍යාව, රැකියා දිවියේ සමබරතාවය සඳහා චිත්තවේගාත්මක බුද්ධිය සහ භාවනා කිරීම පිළිබඳ විශේෂ සැසි සමඟ නායකත්වය සහ සන්නිවේදන කුසලතා, සැලසුම්කරණය, වෙනස්වීම් කළමනාකරණය, කාර්යය පැවරීම සහ අභිප්‍රේරණය යනාදිය වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කරන ලද ක්‍රියාකාරකම්වල නිරත වූහ. මේ සෑම සැසිවාරයක්ම පුළුල් බාහිර පුහුණු ක්‍රමවේද භාවිතා කරමින් පවත්වන ලදී.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 ඔක්තෝබර් 12 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close