ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දකුණු ඉන්දීය ආයෝජකයින්ට ආරාධනා කෙරේ

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දකුණු ඉන්දීය ආයෝජකයින්ට ආරාධනා කෙරේ

ශ්‍රී ලංකාව තුළ පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ දකුණු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SICCI) එක්ව 2022 දෙසැම්බර් 20 වැනි දින චෙන්නායි හි පිහිටි දකුණු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී “ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර සිදුකිරීම” ව්‍යාපාරික සාකච්ඡාව සංවිධානය කරන ලදී.

මෙම රැස්වීම අමතමින්, දකුණු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති අර් රම් අරුන් මහතා සහ ලේකම් විනෝද් සොලමන් මහතා විසින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිිළිබඳව ඉස්මතු කළහ.

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමා ශ්‍රී ලංකාව තුළ පවතින විභව ආයෝජන මාර්ග සහ විදේශ වෙළඳ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් සඳහා රජය විසින් සපයනු ලබන පහසුකම් සහ දිරිගැන්වීම් පිළිබඳව අවධාරණය කළේය. ලබන වසරේ දී ආයෝජක දූත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඔහු ආරාධනා කළේය.

පුනර්ජනනීය බලශක්තිය, රෙදිපිළි, ඖෂධ, මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය වැනි දකුණු ඉන්දියාවේ විවිධ ව්‍යාපාර සහ ආයෝජන ක්ෂේත්‍රවල හොඳින් ස්ථාපිත වෙළඳ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයින් තිස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව අන්තර්ක්‍රියාකාරී සැසියක් මෙම අවස්ථාවෙන් පසුව පැවැත්විණි.

දේශයේ දකුණු ප්‍රදේශය සඳහා වසර සියයක විශිෂ්ටත්වය සහ ව්‍යවසාය සේවය සම්පූර්ණ කර ඇති දකුණු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ඉන්දියාවේ පැරණිතම, විශාලතම සහ කීර්තිමත් ආයතනවලින් එකකි.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 දෙසැම්බර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close