යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති COP-15 සමුළුව අතරතුර මහ කොමසාරිස් නවරත්න මැතිතුමා යළිදු අවධාරණය කරයි

යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති COP-15 සමුළුව අතරතුර මහ කොමසාරිස් නවරත්න මැතිතුමා යළිදු අවධාරණය කරයි

COP 15 සමුළුවේ ඉහළ පෙළේ කොටසේ දී මෙරට ප්‍රකාශය ඉදිරිපත් කළ මහ කොමසාරිස් හර්ෂ් කුමාර නවරත්න මැතිතුමා, “යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානමින් සිටින බව” යළිදු අවධාරණය කළේ ය.

ප්‍රමාණයෙන් කුඩා  වුවද, ශ්‍රී ලංකාව විවිධ පරිසර පද්ධතිවලින් සමන්විත වන බවත්, ආසියානු කලාපයේ විවිධ දේශගුණික හා භූ විෂමතාවන් සහිත සහ ඉහළ වර්ගීකරණ විවිධත්වයක් සතු ජෛව විද්‍යාත්මක විවිධත්වයෙන් යුත් රටවලින් එකක් වන බවත් එතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. ජෛව විශේෂ බහුවිධතාව සම්බන්ධයෙන් ඉහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාව, ක්‍රම ක්‍රමයෙන් ජෛව විවිධත්ව විනාශයට ගොදුරු වෙමින් සිටියි. එබැවින්, ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යවල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ඵලදායී උපකරණ සහ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළ එතුමා, සමුද්‍රීය ප්‍රවාහනය සහ ධීවර ක්ෂේත්‍රයේ කටයුතු අවම ප්ලාස්ටික් භාවිතයක් සහිතව ක්‍රියාත්මක වන අනාගතයක් නිර්මාණය කිරීමට සහය වීමේ අරමුණින් කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වන ග්ලොලිටර් හවුල්කාරිත්වය සිය ඇගයුමට ලක් කළේ ය.

මෙරට ලද ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ මහ කොමසාරිස් නවරත්න මැතිතුමා, ජෛව විවිධත්ව විනාශයට සහ වාසස්ථාන විනාශයට ඉවහල් වන ප්‍රධාන හේතුවක් පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව 2019 වසරේ පැවති තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන කටයුතු කළ බව සඳහන් කළේ ය. කඩොලාන පරිසර ප්‍රතිසංස්කරණය පිළිබඳ ශූරයා වන ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල්වලට නායකත්වය ලබා දෙන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් අදහස් පළ කළ මහ කොමාරිස්වරයා, ජෛව විවිධත්වය සම්බන්ධයෙන් 2050 වසර සඳහා වූ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා පවතින ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කුන්මිං ප්‍රකාශයට සහාය දුන් බවත්, වඩාත් යථාර්ථවාදී සහ ක්‍රියාත්මක කළ හැකි ජාතික සැලසුම් සමඟින් එළඹෙන 2020- පශ්චාද් ගෝලීය ජෛව විවිධත්ව රාමුවට සහය වන අතරතුර ඉදිරි දශකය තුළ දකුණු-දකුණු, උතුරු-දකුණු සහ ත්‍රිකෝණාකාර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහය වන බවත් සඳහන් කළේ ය.

මහ කොමසාරිස් නවරත්න මැතිතුමා COP-15 සමුළුව සහ කර්ටගෙනා සහ නගෝයා ප්‍රොටෝකෝලවල පාර්ශ්වයන්ගේ සමගාමී රැස්වීම් සහ 2022 දෙසැම්බර් 06 වැනි දින කැනඩාවේ මොන්ට්‍රියෙල් හි ආරම්භ වූ 2022- පශ්චාද් ගෝලීය ජෛව විවිධත්ව රාමුව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ පස්වැනි රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දුන්නේ ය.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පත්මලතා අමරකෝන් මහත්මිය, පරිසර අමාත්‍යංශයේ ප්‍රධාන නීති නිලධාරි ලුම්බිණි කිරිඇල්ල මහත්මිය, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශිකා ලශින්කා දම්මුල්ලගේ මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට පුද්ගලික වශයෙන් සහභාගී වූ අතර, සෙසු පිරිස අතථ්‍ය අයුරින් ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඔටාවා

 2022 දෙසැම්බර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close