මියන්මාරයේ නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ කිර්තිමත් භික්ෂූන් වහන්සේලාට අග්ග මහා පණ්ඩිත ගෞරව සම්මානය ඇතුළු ගෞරව සම්මාන අටක් පිරිනැමේ

මියන්මාරයේ නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ කිර්තිමත් භික්ෂූන් වහන්සේලාට අග්ග මහා පණ්ඩිත ගෞරව සම්මානය ඇතුළු ගෞරව සම්මාන අටක් පිරිනැමේ

මියන්මාරයේ 73 වැනි නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමකට හා එක් ගිහියෙකු ඇතුළු අට දෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කීරිමට එරට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ථේරවාදී බෞද්ධ භික්ෂූන්  වහන්සේ උදෙසා මියන්මාර රජය පරිනමන ඉහළම සම්මානය වන අග්ග මහා පණ්ඩිත  ගෞරව නාමයට පාත්‍ර වු මෙරට කිර්තිමත් භික්ෂූන් වහන්සේ සිවිනමක් සිටීමද විශේෂත්වයකි.  තවත් ගෞරව නාමයන් කිහිපයක් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකට සහ එක් ගිහියෙකු වෙත පිරිනැමීමට මියන්මාර ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව, දෙහිවල ශ්‍රී මහා බෝධි මහා විහාරයේ පූජ්‍ය මිහිරිපැන්නේ සෝභිත ස්වාමීන් වහන්සේ, කැලණිය රජමහා විහාරය සහ කිත්සිරිමෙවන් රජ මහා විහාරයේ පූජ්‍ය ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී අමරපුර ධර්මරක්ෂිතවංශ මහා නිකායේ තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී කල්‍යාණිවංශ අමරපුර මහා නිකායේ පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ වෙත අග්ගමහාපණ්ඩිත ගෞරව නාමය පිරිනමා ඇත.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ වෙත අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය පිරිනමා ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ට අග්ගමහා ගන්ථ වාචක පණ්ඩිත ගෞරව සම්මානය පිරිනමා තිබේ.

පිලියන්දල තුම්බෝවිල පුරාණ මහා විහාරයේ පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ දම්රිවි පදනමේ විශ්‍රාමික මහාචාර්ය අසංග තිලකරත්න මැතිතුමාට මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය පිරිනමා ඇත.

අග්ග මහා පණ්ඩිත යනු මියන්මාර රජය විසින් විශිෂ්ට ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙත පිරිනමනු ලබන ගෞරවනීය බෞද්ධ නාමයකි. අග්ග මහා පණ්ඩිත යන්නෙහි අරුත “ප්‍රමුඛතම, ශ්‍රේෂ්ඨ හා ඥානවන්ත” යන පාලි පදවලින් උපුටා ගන්නා ලද්දකි. මෙම ගෞරව නාමය පිරිනමනු ලබන්නේ ධර්මය ඉගැන්වීම පිළිබඳ ඉහළ දැනුමක් ඇති බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙතය. වාර්ෂික උත්සවයක් ලෙස මියන්මාරයේ ජනාධිපතිවරයා විසින් මෙම ගෞරව නාමය පිරිනමනු ලබන්නේ, මියන්මාරයේ සංඝයා වහන්සේලා අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා රජය විසින් පත් කරන ලද ඉහළ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සංගමය වන මහා නාහිමිවරුන්ගේ කමිටුව විසින් යම් භික්ෂුවකගේ ප්‍රඥාව සහ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ගැඹුරින් විමසා බැලීමෙන් අනතුරුවය.

ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ගණනාවක් වෙත අතීතයේ දී මියන්මාර රජය විසින් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය පිරිනමා ඇති අතර, අවසන් වරට මෙම ගෞරව නාමය 2020 වසරේ දී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ වෙත පිරිනමන ලදී.

අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ සහ මහා සද්ධම්ම ජෝතික ධජ යන ගෞරව නාමයන් ද බොහෝ දුරට අධ්‍යාපනය සඳහා විශිෂ්ට සේවයක් කළ හා ධර්මයෙහි විශිෂ්ටයන් වූ භික්ෂූන් වහන්සේලා අගය කිරීම සඳහා මියන්මාර රජය විසින් පිරිනමනු ලබන ගෞරව නාමයන් වේ. සමහර අවස්ථාවල දී ධර්මය වෙනුවෙන් ඔවුන් කළ සේවය අගය කිරීම සඳහා ගිහි පුද්ගලයින් කිහිප දෙනෙකු වෙත ද මහා සද්ධම්ම ජෝතික ධජ යන ගෞරව නාමය ප්‍රදානය කර ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 ජනවාරි 12 වැනි දින

  -

Print Friendly, PDF & Email
Please follow and like us:

Close