ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ගරු කොන්සල්වරුන්ගෙන් විදේශ ඇමති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ගරු කොන්සල්වරුන්ගෙන් විදේශ ඇමති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට රැඳී සිටින විදෙස් රටවල ගරු කොන්සල්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. විදෙස් රටවල්වල ගරු කොන්සල්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කෙළේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව ඉකුත් 11දා (ඊයේ) විදේශ අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කලාපීය සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සමඟ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ. කොවිඩ්-19 වසංගත තත්ත්වයට මුළු ලෝකයම ගොදුරුව ඇති මේ මොහොතේ සියලු රටවල ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇතත් එකිනෙකාට උදවු කර ගනිමින් ලෝක ආර්ථිකය යළි දියුණුව කරා ගෙන යාමට කටයුතු කළ යුතුව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉකුත් වසර තුළ පැවැති යහපත් කාළගුණික තත්ත්වයත් සමඟ මෙරට තේ නිෂ්පාදනයේ ගුණාත්මක බව ඉහළ මට්ටමක පවතින බැවින් ඒ සඳහා ලෝකයේ වැඩි ඉල්ලුමක් සහිත වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් පවතින බව විදේශ ලේකම් කොළඹගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ප්‍රධාන කරුණු තුනක් යටතේ කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් සිටින බැවින් ඊට සියලු පාර්ශ්වවල සහාය අවශ්‍ය බවය.

ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ ඔවුන් සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව මෙම සාකච්ඡාවට සම්බන්ධව සිටි ගරු කොන්සල්වරුන් ඉල්ලා සිටියහ. සංචාරකයන්  සඳහා මෙරට විවෘත කිරීම, ගුවන් තොටුපල විවෘත කිරිම, හා ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළු ආයෝජන දිරි ගන්වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණ

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 ජනවාරි 12 වැනි දින

Video Link: https://m.youtube.com/watch?v=FdqjqlwUot8

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close