දකුණු ආසියාවේ සිට ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණවීම අවසන් වෙයි

දකුණු ආසියාවේ සිට ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණවීම අවසන් වෙයි

Chennai 1

අද (අප්‍රේල් 30) දින සවස ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය කොල්කටා නුවර සිට මෙහි පැමිණීමත් සමඟ, දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10 ක කාලයක් තුළ දී සියරට පැමිණවීමේ මෙහෙයුම සාර්ථකව නිම විය.

2020 අපේ‍්‍රල් 21 වැනි දින සිට ආරම්භ කොට, ඉන්දියාවේ (පන්ජාබ්, මුම්බායි, කොයිම්බතූර්, බැංගලෝර්, නවදිල්ලිය සහ කොල්කටා), පාකිස්තානයේ (කරච්චි සහ ලාහෝර්), නේපාලයේ (කත්මණ්ඩු) සහ බංග්ලාදේශයේ (ඩකා) පිහිටි ගමනාන්තවල සිට COVID 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් නැවත සියරට පැමිණවීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් විශේෂ ගුවන් ගමන් වාර නවයක් (9) භාවිතා කරන ලදී. මෙසේ සියරට පැමිණවූවන් අතරට, අදාළ රටවල අධ්‍යයන හා පුහුණු වැඩසටහන් සම්පූර්ණ කළ සහ නැවත ශ්‍රී ලංකාවේ නිල රාජකාරි භාර ගැනීමට නියමිතව සිටි රාජ්‍ය හා හමුදා නිලධාරීන් ද ඇතුළත් වෙයි. මෙසේ ආපසු පැමිණි සියලුම දෙනා මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති පහසුකම් මත අනිවාර්ය නිරෝධායනයට ලක්ව සිටිති.

නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන වඩාත් අවදානමට ලක්විය හැකි එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමෙන් හා විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිර්දේශයෙන් අනතුරුව, විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සඳහා ගුවන් තොටුපළ වසා දැමීමෙන් පසු නැවත මෙරටට ගෙන්වා ගන්නා පළමු කාණ්ඩය දකුණු ආසියාවේ සිටින සිසු සිසුවියන් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් 14 වැනි දින උපදෙස් දුන්නේය. ගෝලීය වසංගතය හේතුවෙන් ඇතිවන සංකීර්ණතා තුළින් පැන නගින ගැටලු රාශියක් මධ්‍යයේ, දකුණු ආසියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, ජනාධිපති ලේකම් කාර්යාලය, COVID 19 කාර්ය සාධක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරමින්, අදාළ විදේශ රජයන්ගේ ශක්තිමත් සහාය ද ඇතිව කලාපය තුළ බොහෝ නගරවල ස්ථානගතව සිටි සිසුන් ආරක්ෂිතව නැවත පැමිණීම මෙම අමාත්‍යාංශය මඟින් සහතික කරන ලදී.

එහි පළමු පියවර ලෙස දකුණු ආසියාවේ එනම්, ඩකා, කත්මණ්ඩු, නවදිල්ලිය, ඉස්ලාමාබාද්, චෙන්නායි, මුම්බායි සහ කරච්චි යන නගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කොන්සල් ජනරාල් කාර්යාල විසින් තම අදාළ බල ප්‍රදේශවල සිටින සිසු සිසුවියන් පිළිබඳ දත්ත එක්රැස් කිරීම සිදු කරන ලද අතර, එමඟින් නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීම සඳහා අවශ්‍ය සිසු සිසුවියන් සහ අධ්‍යයන ආයතනවල ජාලය ගොඩනඟන ලදී. විදේශ සබඳතා අමාත්‍යාංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශය, එහි අධ්‍යක්ෂ ජනරාල් අරුණි රණරාජා මහත්මියගේ නායකත්වයෙන් යුතුව එම දූත මණ්ඩල සමඟ මෙම ක්‍රියාවලිය සමඟ සම්බන්ධීකරණය කළේය. නැවත සියරට පැමිණවීමේ සහ නිරෝධායනය කිරීමේ ක්‍රියාවලීන් දෙකම විධිමත් කිරීමේ අරමුණින් යුතුව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සෑම ගමනාන්තයක් සඳහාම සිසුන් වර්ගීකරණය හා කණ්ඩායම් කිරීම ඇතුළුව සවිස්තර සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය පුරාම මෙම වෙන් කළ කණ්ඩායම් පොකුරු වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, නිරෝධායන ක්‍රියාවලිය අවසන් වන තෙක්ම එය ක්‍රියාත්මක වේ.

වැඩබලන මහ කොමසාරිස් යූ.එල්. නියාස් මහතාගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ජී.එල්. ඥානදේව මහතාගේ නායකත්වයෙන් යුත් කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව සම්බන්ධීකරණය කොට 2020 අප්‍රේල් 21 වැනි දින මෙරටට පළමු ශිෂ්‍ය කණ්ඩායම  පාකිස්තානයේ සිට  ගෙන්වා ගත්  අතර එහිදී පාකිස්ථානය පුරා අධ්‍යාපන හා පුහුණු ආයතන 12 ක සිටි පුද්ගලයන් 106 දෙනෙකු මෙරටට ගෙන්වා ගන්නා ලද අතර, ඉන් සමහරෙක් ගුවන් තොටුපළෙන් කි.මී. 1,500 ක් පමණ දුරින් සිටි අය වූහ.

වැඩබලන මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතාගේ නායකත්වයෙන් යුත් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන ලද ඉන්දියාවේ සිට නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලියට අම්රිට්සාර්, නවදිල්ලිය සහ කොල්කටා සිට ගුවන් ගමන් වාර තුනක් (03) අයත් වූ අතර, හිමාචල් ප්‍රදේශ්, පන්ජාබ්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ්, දිල්ලි (NCR), ඔඩීෂා, බටහිර බෙංගාලය, ඇසෑම් සහ චතිස්ගාර් ප්‍රදේශවලින් සිසු සිසුවියන් 369 දෙනෙකු මෙහි ගෙන්වා ගන්නා ලදී.

බටහිර ඉන්දීය කලාපයේ සිට නැවත සියරට පැමිණවීම කොන්සල් ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, එමඟින් මහාරාෂ්ට්‍ර, ගුජරාට්, ගෝව, මධ්‍ය ප්‍රදේශ් සහ කර්ණාටක යන ප්‍රාන්ත 05 ක නගර 15 ක පිහිටි අධ්‍යයන හා පුහුණු ආයතනවලින් පුද්ගලයින් 164 දෙනෙකු ගෙන්වා ගන්නා ලදී.

නියෝජ්‍ය මහ කොමසාරිස් වඩිවේල් ක්‍රිෂ්ණමූර්ති මහතාගේ නායකත්වයෙන් යුත් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් 2020 අපේ‍්‍රල් 26 වැනි දින කොයිම්බතූර් සිට සහ 2020 අප්‍රේල් 28 වැනි දින බැංගලෝරයෙන් පිටත් වූ කණ්ඩායම් දෙකකින් පිළිවෙලින් සිසු සිසුවියන් 113 දෙනෙකු සහ 164 දෙනෙකු නැවත සියරට ගෙන්වා ගන්නා ලදි. මෙම සිසු සිසුවියෝ තමිල්නාඩු, කේරළ, කර්නාටක, අන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා හි ආයතනවල සිටි අය වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සාමාන්‍ය ගුවන් ගමන් නොපවත්වන ගමනාන්තයක් වන කත්මණ්ඩු නුවර සිට 2020 අපේ‍්‍රල් 24 වැනි දින සිසුන් 76 දෙනෙකු නැවත මෙරටට ගෙන්වාගෙන තිබේ. තානාපතිනි හිමාලී අරුණතිලක මහත්මියගේ නායකත්වයෙන් යුත් කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකළ අතර එහිදී  කත්මණ්ඩු නුවර සහ කි.මී. 200 ක් පමණ දුරින් පිහිටි පොඛාරා හි සිසුන් ද ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදි.

ඩකා, චිතගොං, කොමිලා, සවර් සහ සිල්හෙට් යන නගර වලින් බංග්ලාදේශයේ විවිධ ස්ථානවලින් සිසුන් හැත්තෑ තුන් (73) දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම 2020 අප්‍රේල් 28 වැනි දින ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් සිදු කරන ලදී. වැඩබලන මහ කොමසාරිස් සමීර දයාසේකර මහතාගේ නායකත්වයෙන් යුත් ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම නැවත සියරට පැමිණවීමේ කාර්යයෙහි පෙරමුණ ගත් අතර, ඊට බංග්ලාදේශයේ රාජ්‍ය සමාජ සංවිධාන ගණනාවක සහාය ලැබිණ.

මෙම නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානය යන රටවල රජයන්, ප්‍රාන්ත රජයන් හා පළාත් පාලන ආයතන, ආගමන හා විගමන දෙපාර්තමේන්තු, සිවිල් ගුවන් සේවා බලධාරීන්, අධ්‍යයන ආයතන, මෙම රටවල අදාළ ත්‍රිවිධ හමුදාවන් සහ විශේෂයෙන් කොල්කටාහි මහාබෝධි සමිතිය ඇතුළු ශ්‍රී ලාංකික සංවිධාන විසින් ලබා දෙන ලද නොමසුරු සහයෝගිතාව සහ සම්බන්ධීකරණය පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය සහ දකුණු ආසියානු කලාපයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සිය කෘතඥතාව පළ කරයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 අප්‍රේල් 30 වැනි දින
Delhi 1 Dhaka 1 Mumbai1
Print Friendly, PDF & Email
Please follow and like us:

Close