සීමිත නිරෝධායන පහසුකම්  එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් නැවත සියරට පැමිණවීම සීමා කරයි - ශ්‍රී ලංකාව කුවේටය සමඟ පොදු සමා කාලසීමාව දීර්ඝ කරවා ගැනීම සඳහා කටයුතු කරයි

සීමිත නිරෝධායන පහසුකම්  එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් නැවත සියරට පැමිණවීම සීමා කරයි – ශ්‍රී ලංකාව කුවේටය සමඟ පොදු සමා කාලසීමාව දීර්ඝ කරවා ගැනීම සඳහා කටයුතු කරයි

EWdYQ9LWAAc83tS

ශ්‍රී ලංකාව තුළ  COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙරට තුළ නිරෝධායන පහසුකම් සීමිත මට්ටමක පවතින වාතාවරණයක් තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ හඳුනාගෙන, ඔවුන් සියරට පැමිණවීම මෙතෙක් සිදුකරන ලද බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

අප්‍රේල් 24 වැනි සිකුරාදා සිරස ගුවන්විදුලිය සහ ‘දවස’ රූපවාහිනී වැඩසටහන වෙත අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ, ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය සහ වෙනත් මාධ්‍යයන් හරහා මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. මෙම සංඛ්‍යාවට සංක්‍රමණික ශ්‍රමිකයන් හා යැපෙන්නන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද, සිසු සිසුවියන් 6,000 ක් සහ කෙටිකාලීන වීසා බලපත්‍ර දරන්නන් හා සංචාරකයින් 3,000 ක් පමණ ද ඇතුළත් වේ.

වෛද්‍ය මතය අනුව ඔවුන් මුහුණ දී සිටින සුවිශේෂී අවදානම සැලකිල්ලට ගනිමින්, වර්තමාන නැවත සියරට පැමිණවීමේ පෙළගැස්මෙහි දී රජයේ අවධානය මේ වන විට යොමු වී ඇත්තේ ශිෂ්‍යයන් සහ රජයේ පුහුණු වැඩසටහන් සඳහා දකුණු ආසියාවට ගොස් සිටින අය කෙරෙහි බව ලේකම් ආර්යසිංහ මහතා  පැවසීය. මෙම නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය මෙම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ඒ් ඒ් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ක්‍රියාත්මක කරනු ලබනුයේ කොවිඩ්-19 කාර්ය සාධක බලකාය සහ තවත් ජාතික ආයතන රාශියක් සමඟ සහයෝගයෙනි. වෙනත් ස්ථානවල ද වර්ධනය වෙමින් පවතින මෙවැනිම තත්වයන් පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සමීපව අධීක්‍ෂණය කරනු ලබන අතර, නැවත සියරට පැමිණවීම සඳහා තීරණ ගැනීම සහ පහසුකම් සැපයීම පිණිස ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සලකා බැලීම සඳහා සුදුසු නිර්දේශ ලබා දෙනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකා දූත මණ්ඩල 67 කින් යුත් ජාලය අවශ්‍යතා ඇති විදේශගත ශ්‍රී ලාංකික සහාය වෙමින් පහසුකම් සපයයි. එම රටවල පිහිටි ශ්‍රී ලාංකික ප්‍රජා සහ ආගමික සංවිධානවල ද සහාය ඇතිව අවශ්‍ය අවස්ථාවන්හි දී වියළි සලාක සහ ඖෂධ ලබා දීමට අමතරව, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, බැංකු  හරහා මුදල් ගෙන්වා ගැනීම/අරමුදල් මාරු කිරීම, අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සහ සමස්තයක් වශයෙන් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා  මෙම දූත මණ්ඩල ක්‍රියා කරයි.

තව දුරටත් කුවේටයේ සේවය කිරීමට අවස්ථාව අහිමි වූ ශ්‍රමිකයන් 19,000 කට අධික පිරිසකට පොදු සමාවක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාවේ එහි පවතින විශේෂිත තත්ත්වය කෙරෙහි මෙම අමාත්‍යාංශය ප්‍රධාන අවධානයක් යොමු කර ඇති බව ඔහු පැවසීය. මෙම පොදු සමා කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා සහ කුවේට් රජයන් සාකච්ඡා පවත්වමින් සිටින අතර, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කුවේට් අග්‍රාමාත්‍ය ගරු ෂෙයික් සබා කලීඩ් අල්-හමාඩ් අල්-සබා මැතිතුමා අතර පැවති දුරකථන සංවාදයකින් අනතුරුව, මේ සතියේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ කොළඹ සිටින කුවේට් තානාපති ඛාලෆ් එම්.එම්. බූ ධයර් මැතිතුමා අතර පැවති සාකච්ඡාවේ දී, මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව විශේෂ අවධානය යොමුවිය. විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේ, පුද්ගලයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවය පිළිබඳව සැලකිල්ලට ගනිමින්, මෙම සාකච්ඡාවලින්   අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක තීරණයක් අපේක්ෂා කරන බවයි.

බොහෝ අවස්ථාවල දී, එතෙර සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම අවම කිරීමට දූත මණ්ඩලවලට හැකි වූ බව ලේකම් ආර්යසිංහ මහතා සඳහන් කළේය. සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM), කැරිටාස් සහ රතු කුරුස වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් සපයනු ලබන ආධාර දූත මණ්ඩලවල කාර්යයන්  වැඩිදියුණු කිරීමට ඉවහල් වී ඇත. ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්‍ෂිත බව කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  සහතික වී ඇති බව ද ඔහු පැවසීය. මෙම තානාපති කාර්යාලය, කොරියානු ජනරජය තුළ ගිවිසුම් අවසන් කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡාවල නිරතව සිටී. මීට අමතරව, වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය නිසා සිදුවන අවතැන්වීම් හේතුවෙන් ඇතිවිය හැකි රැකියා හිඩැස් පිරවීම සඳහා පවත්නා ඉඩප්‍රස්ථා පිළිබඳව ද මෙම කාර්යාලය  සොයා බලයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 අප්‍රේල් 25 වැනි දින

Full interview on Sirasa TV “Dawasa” athttps://youtube.com/watch?v=Yb5q14SYXpM #lka
Print Friendly, PDF & Email
Please follow and like us:

Close