තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා ජපාන අධිරජ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

 තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා ජපාන අධිරජ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි


ජපානය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා 2023 ජනවාරි 19 වැනි දින ටෝකියෝ නුවර ඉම්පීරියල් මාළිගයේ දී ජපාන අධිරජ නරුහිතෝ උතුමාණන් වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.  අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය යනු ජපාන අධිරජ විසින් පවත්වනු ලබන අති උත්කර්ෂවත් හා නිල උත්සව අතරින් එකකි.

නරුහිතෝ උතුමාණන්ගේ අනුග්‍රහය යටතේ නිමවන ලද  විශේෂිත ලිමොසින් රථයක් මඟින් ඓතිහාසික ටෝකියෝ දුම්රිය ස්ථානයේ සිට ඉම්පීරියල් මාළිගය දක්වා පැමිණීමේ අවස්ථාව තානාපති පෙරේරා මැතිතුමාට හිමි විය. ඉම්පීරියල් හවුස්හෝලඩ් ඒජන්සියේ උත්සව ප්‍රධානියා පෙරේරා මැතිතුමා සමඟ ඊට සහභාගි විය.

ජපාන අධිරජ මෙම නිල අවස්ථාව ආරම්භයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ අතර, තානාපති පෙරේරා විසින් එය උණුසුම් ලෙස පිළිගනු ලැබී ය. ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ජපාන රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය යසුකසු හමාඩා මැතිතුමා ඉදිරියේ සිය අක්තපත්‍ර නිල වශයෙන් පිළිගැන්වූ තානාපති පෙරේරා මැතිතුමාට අධිරජ නරුහිතෝ උතුමාණන් සමඟ නිල නොවන සංවාදයක නිරත වීමට අවස්ථාව සැලසිණි.

1988 වර්ෂයේ දී ශ්‍රී ලංකා විදේශ සේවයට ඇතුළත් වූ තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා, වෘත්තීය අධ්‍යාපනය, පර්යේෂණ, ගෝලීය සංචාර, දේශන පැවැත්වීම සහ ලෝකයේ සෙසු රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා පැවැත්වීම සඳහා අන්තර්ක්‍රියා පැවැත්වීම සම්බන්ධයෙන් දශක හතරක අත්දැකීම් සතු නිලධාරියෙකි. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ තානාපති පෙරේරා මැතිතුමා, කළමනාකරණ තොරතුරු පද්ධති පිළිබඳ ව්‍යාපාර පරිපාලන උපාධියක් ලබා ඇත. පසුව එතුමා නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තේ ය. එතුමා ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතනවල මෙන්ම වෙනත් රටවල ද විශේෂිත අධ්‍යයන පාඨමාලා සම්පූර්ණ කර ඇත. හාවඩ් විශ්වවිද්‍යාලය සහ වොෂින්ටන් ඩී.සී. හි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය ඊට ඇතුළත් වේ.

විදේශ රාජ්‍යතාන්ත්‍රික සේවයේ පළමු සේවා අවස්ථාව වශයෙන් එතුමා 1989-1992 කාලය තුළ ටෝකියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය. ඉන් අනතුරුව, එතුමා නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ පළමු ලේකම් ලෙස සහ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ (එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ නිවාස ආයතන සඳහා සමගාමීව අක්ත ගන්වා ඇත) වැඩබලන මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළේ ය. තවද එතුමා ඉතාලිය, (සයිප්‍රසය, ග්‍රීසිය, මෝල්ටාව සහ රෝමය පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම නියෝජිතායතන සමඟ සමගාමීව අක්ත ගන්වා ඇත) නෝර්වේ සහ බෙල්ජියම (ලක්සම්බර්ග් සඳහා සමගාමීව අක්ත ගන්වා ඇත) යන රටවල සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද සේවය කළේ ය. එතුමා 2020 වර්ෂයේ අවසානය තෙක් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සේවය කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2023 ජනවාරි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close