ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ තානාපති ලෙස නම් කළ තානාපති ජේ. ඒ. ඩී. එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී

ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ තානාපති ලෙස නම් කළ තානාපති ජේ. ඒ. ඩී. එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී

ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කළ ජේ. ඒ. ඩී. එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය 2023 ජනවාරි 23 වැනි දින ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගත්තා ය.

ජෝර්දානයේ තානාපති කාර්යාලයට පැමිණි තානාපති ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබී ය. තානාපතිනිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව ආරම්භ වූ චාම් උත්සවයක් සමඟින් එතුමිය සිය රාජකාරී ආරම්භ කළා ය.  මෙම අවස්ථාවේ දී  ශ්‍රී ලාංකික සම්ප්‍රදායික ආහාර සංග්‍රහ කෙරිණි.

කාර්ය මණ්ඩලය ඇමතූ තානාපති ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය, තමන් උණුසුම් ආකාරයෙන් පිළිගත් කාර්ය මණ්ඩලය වෙත ස්තූතිය පළ කළ අතර, සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත්  වී සහයෝගීතාවයේ නවමු මාර්ග ඔස්සේ පුළුල් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළා ය. ජෝර්දානය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සහ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම විටම ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ වැදගත්කම ද තානාපතිනිය විසින් අවධාරණය කරන ලදී.

නම් කළ තානාපති ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය ශ්‍රී ලංකා විදේශ සේවයේ වසර 20 ක පළපුරුද්දක් සහිත නිලධාරිනියක වන අතර, එතුමිය කෙන්යාව සහ ලෙබනනය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සහ කැනඩාවේ ටොරොන්ටෝ හි කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවය කර ඇත. තවද එතුමිය විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය, විදේශ රටවල පරිපාලන කටයුතු පිළිබඳ අංශය, දකුණු ආසියාව සහ සාර්ක් අංශය යන අංශවලට අනුයුක්තව ද සේවය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන එතුමිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2023 ජනවාරි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close