යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ 5 වැනි රැස්වීම

යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ 5 වැනි රැස්වීම

1.  යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ පස්වැනි රැස්වීම 2021 සැප්තැම්බර් 29 දින කොළඹ දී පැවැත්විණ.

2.  යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකාව අතර පවතින නිතිපතා ද්විපාර්ශ්වික හුවමාරුව පිළිබඳ සන්දර්භය තුළ මෙම ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. සුහදශීලී හා විවෘත වාතාවරණයක් තුළ පැවති මෙම එක්දින රැස්වීමේ දී, හවුල්කාර දෙපාර්ශ්වය යහපාලනය, නීතියේ ආධිපත්‍යය පිළිපැදීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වූ තම කැපවීම යළි තහවුරු කළහ. මූලික අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්‍ධනය කිරීම සම්බන්ධ පොදු අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කළ ඔවුහු, අදාළ ගැටළුවල දී සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා එකඟ වූහ.

3.   යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීමේ අත්දැකීම් හුවමාරු කර ගත්හ. එන්නත් ලබාදීමේ සමානාත්මතාවය සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රතිලාභ ලබා දෙන කොවැක්ස් පහසුකම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය ශ්‍රී ලංකාව අගය කළේය.

4.   යුක්තිය, සංහිඳියාව සහ වගවීම තුළින්, සමාජ, ආර්ථික හා දේශපාලන ඇතුළත් කිරීම් පෝෂණය කිරීමේ වැදගත්කම යුරෝපා සංගමය යළි අවධාරණය කළේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණයේ ස්වාධීනත්වය, බලතල බෙදීම සහ ස්වාධීන ආයතනවල අඛණ්ඩ වැඩ කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළේය. ස්වාධීන ආයතනවල ඵලදායී ක්‍රියාකාරිත්වයේ වැදගත්කම දෙපාර්ශ්වයම යළි අවධාරණය කළේය.

5.   අධිකරණ අමාත්‍යාංශය විසින් නිලධාරීන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නිල හා නිල නොවන නීනීඥ සංගම්වල සාමාජිකයින් එක් කර ගත් උපදේශන ක්‍රියාවලීන් තුළින් ක්‍රියාත්මක කෙරෙන පුළුල් නීති ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය යාවත්කාලීන කළේය. මෙම ක්‍රියාවලිය තුළ පුළුල් උපදේශන ක්‍රියාවලියක් පිළිබඳව සලකා බැලීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

6.   සිවිල් සමාජය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම සහ එහි සියලු විවිධත්වයන් තුළ ක්‍රියාත්මක වීමට අවශ්‍ය අවකාශය ලබා දීම පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය. මෙම ප්‍රයත්නවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සඳහා සිය සූදානම යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.

7.   සුළු ජාතීන්ට අදාළ කාරණා සහ වෛරී කථාවලට පිළියම් යෙදීම පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායම සාකච්ඡා කළේය. සියලුම ජාතීන්ගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාව මඟින් සමාන ලෙස සහතික කෙරෙන රටේ බහුත්ව සංයුතිය පිළිබඳව ශ්‍රී ලංකාව අවධාරණය කළේය.

8.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව යාවත්කාලීන කිරීමක් ලබා දුන් ශ්‍රී ලංකාව, නියමිත කාල සීමාව තුළ දී ජාත්‍යන්තර සම්මතයන් හා ප්‍රමිතීන්ට අනුකූලව එය ගෙන ඒම සඳහා වන සිය කැපවීම යළි අවධාරණය කළේය. 2022 මුල් භාගයේ දී පැවැත්වෙන යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ මීළඟ රැස්වීම වන විට මේ සම්බන්ධයෙන් ප්‍රගතිය සොයා බැලීමට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ වූහ. ත්‍රස්තවාදයට සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කරන විට ජාත්‍යන්තර සම්මතයන් සහ මානව හිමිකම්වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.

9.   සියලුම වාතාවරණයන් යටතේ මරණ දඬුවම ලබා දීම සඳහා සිය විරෝධය යුරෝපා සංගමය යළි අවධාරණය කළේය. අඛණ්ඩව පවතින අත්හිටුවීම පිළිගත් යුරෝපා සංගමය, මරණ දඬුවම විධිමත් ලෙස අහෝසි කිරීම සඳහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

10. ගිවිසුම් ආයතන, විශේෂ ක්‍රියා පටිපාටි සහ විශ්ව කාලාන්තර සමාලෝචනය ඇතුළුව, මානව හිමිකම් කවුන්සිලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව දෙපාර්ශවයම සාකච්ඡා කළහ. 2030 වන විට එක්සත් ජාතීන්ගේ රාමුව තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ඇතුළුව, බහුපාර්ශ්වික වේදිකා තුළ සහයෝගිතාව ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ.

11. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ යුරෝපා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මනීෂා ගුණසේකර මහත්මිය සහ යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවාවේ දකුණු ආසියා අංශයේ ප්‍රධානී ඉඔවානිස් ජියොකාරාකිස්-ආගිරොපොලස් මහතා මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපතිත්වය දැරූහ.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close