පද්ධතිවල කෘෂිපාරිසරික විද්‍යාත්මක පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සහ ප්‍රංශය සහයෝගයෙන් කටයුතු කරයි

පද්ධතිවල කෘෂිපාරිසරික විද්‍යාත්මක පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සහ ප්‍රංශය සහයෝගයෙන් කටයුතු කරයි

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, 2021 සැප්තැම්බර් 04-10 යන දිනවල ප්‍රංශයේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සව කිහිපයකට ද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී විය. මෙම සංචාරය අතරතුර දී, රාජ්‍ය අමාත්‍යවරයා 2021 සැප්තැම්බර් 08 වැනි දින, සංවර්ධනය සඳහා වූ කෘෂි පර්යේෂණ සඳහා ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානයේ (CIRAD) ප්‍රධාන විධායක නිලධාරිනී එලිසබෙත් ක්ලැවරි මහත්මිය හමු විය.

පොල්, කිතුල්, රබර් සහ අනෙකුත් නිවර්තන භෝග ආශ්‍රිත නිෂ්පාදනවල වටිනාකම් දාම වැඩිදියුණු කිරීම සහ කෘෂිපාරිසරක විද්‍යාත්මක පරිවර්තනය සඳහා CIRAD ආයතනයට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් පැවැත්විණි. පොල්, තල්, රබර් සහ තේ හා සම්බන්ධ ආයතන ඇතුළුව, ශ්‍රී ලංකාවේ කෘෂි පර්යේෂණ ආයතන සහ CIRAD ආයතනය අතර අතථ්‍ය සාකච්ඡාවක් සංවිධානය කිරීමට නියමිත ය. CIRAD යනු නිවර්තන සහ මධ්‍යධරණී කලාපීය තිරසාර සංවර්ධනය සඳහා කටයුතු කරන ප්‍රංශ කෘෂිකාර්මික පර්යේෂණ හා සහයෝගිතා සංවිධානය යි. ප්‍රංශ රජය සහ එහි සංවර්ධන නියෝජිතායතන අතර පවතින දිගු කාලීන සබඳතාවය තානාපති හිරිඹුරේගම මැතිනිය අගය කළාය. එමෙන්ම, මින් පෙර සිදු කළ ඒකාබද්ධ පර්යේෂණ සඳහා CIRAD ආයතනය ලබා දුන් සහයෝගය තානාපතිවරියගේ පැසසුමට ලක් විය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය කාබනික පොහොර භාවිතය කෙරෙහි යොමු කිරීමට ජනාධිපතිතුමා ගත් උත්සාහය CIRAD හි ප්‍රධාන විධායක නිලධාරිනිය ප්‍රශංසාවට ලක් කළාය. CIRAD හි මහජන කටයුතු ප්‍රධානී එමිලි ක්ලැන්ඩර් මහත්මිය සහ නිෂ්පාදන පද්ධති කාර්ය සාධන අධ්‍යක්ෂ ෆ්‍රන්සුවා කෝට් මහතා ද මෙම රැස්වීමට සහභාගී වූහ.

රාජ්‍ය අමාත්‍යවරයා සහ CAP හා යුරෝපා හා ජාත්‍යන්තර කටයුතු උපදේශක සහ ප්‍රංශ කෘෂිකර්ම අමාත්‍ය උපදේශක සිල්වේන් මෙස්ට්‍රැසි මහතා අතර හමුවක් තානාපති හිරිඹුරේගම මැතිනිය ඇතුළු දෙපාර්ශ්වයේම නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 09 දින පැවැත්විණි. කාබනික/ජෛව පොහොර භාවිතය, අගය එකතු කිරීම සහ කෘෂි සංචාරක ව්‍යාපාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ අදහස අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. තවද, ආහාර හා නිෂ්පාදන නාස්තිය අවම කිරීම, කෘෂි විද්‍යාත්මක පරිවර්තනය, විද්‍යාත්මක හා තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම වැනි දෙරටම අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන අංශ පිළිබඳව නිලධාරීහු අදහස් හුවමාරු කර ගත්හ. තල් නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීමෙන් ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර වෙසෙන ජනතාවගේ ජීවනෝපාය ඉහළ නංවන සෘජු ප්‍රතිලාභ අත්කර දෙන වැඩසටහන් තල් සංවර්ධන මණ්ඩලය ආරම්භ කර ඇති ආකාරය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ව්‍යවසායන්හි ආර්ථික හා පාරිසරික කාර්ය සාධනය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී ෆ්‍රන්සුවා සයිමන් මහත්මිය, ව්‍යවසායයන්හි ආර්ථික හා පාරිසරික කාර්ය සාධනය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව භාර නිලධාරිනී ක්‍රිස්ටීන් ෆෝටින් මහත්මිය ප්‍රංශ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා නියෝජනය කරමින් රැස්වීමට සහභාගී වූහ. ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා, දෙවන ලේකම් දුලංජි හේරත් මහත්මිය, තුන්වැනි ලේකම් අමිල දිසානායක මහතා, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තක හෙලෝයිස් ඩිම්ප්‍රේ මහත්මිය, සහ ශ්‍රී ලංකා කෘෂි නිපැයුම් ආනයනකරු බැස්ටියන් බියුෆෝට් මහතා ද මෙම සාකච්ඡාවට එක් වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිස්

2021 ඔක්තෝම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close