ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ දේශීය සන්නාමය වන “කුසලතාවයේ දිවයින” ලක්සම්බර්ග් හි ‘ICT ඩිජිටල් වීක්’ හි දී ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ දේශීය සන්නාමය වන “කුසලතාවයේ දිවයින” ලක්සම්බර්ග් හි ‘ICT ඩිජිටල් වීක්’ හි දී ප්‍රවර්ධනය කෙරේ

 

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM) දේශීය සන්නාමය වන “කුසලතාවයේ දිවයින” “Island of Ingenuity” – IOI, 2021 සැප්තැම්බර් 13-17 දිනවල ලක්සම්බර්ග් හි ‘ICT ඩිජිටල් වීක්’ තුළදී ප්‍රවර්ධනය කෙරිණි.

ලක්සම්බර්ග් හි යුරෝපා සම්මුති මධ්‍යස්ථානයේ ‘ICT ඩිජිටල් වීක්’ යටතේ පැවැත්වුණු ‘ICT ස්ප්‍රිංග් යුරෝප්’ ප්‍රදර්ශනයට සහභාගී කරවීම සඳහා ශ්‍රී ලාංකික සමාගම් 7 ක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සූදානම් කෙරිණි.  අරිමැක් ලංකා පුද්ගලික සමාගම, ඊ.සී. හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම, පොටෙන්සා පුද්ගලික සමාගම සහ නවතම සමාගම් 4 ක් වන ඔගස්ටරි පුද්ගලික සමාගම, කැබේජ් ඇප්ස් පුද්ගලික සමාගම, ඉන්ටෙලිජන්සා හබ් පුද්ගලික සමාගම හා ෂේඩ්ස් අයි.ටී. සොලියුෂන්ස් සමාගම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.

ෆින්ටෙක්, ඩිජිටල් ටෙක් සහ ස්පේස් ටෙක් යන අංශ කේන්ද්‍ර කොට ගත් සමුළු හා ප්‍රදර්ශන සහිත තේමාත්මක විෂය පථ ඇතුළත් විශේෂාංග රැසක් ‘ICT ඩිජිටල් වීක්’හි දී ඉදිරිපත් කෙරිණි.

ලක්සම්බර්ග් හි ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය විවෘත කළ අතර, යුරෝපා සංගම් කලාපයේ සිදුවෙමින පවතින ඩිජිටල් පරිවර්තනය යටතේ සැලසෙන අසීමිත අවස්ථා ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් ‘ICT ස්ප්‍රිංග් යුරෝප්’ ප්‍රදර්ශනයට අඛණ්ඩව සහභාගී වීමේ වැදගත්කම අවධාරණය කළා ය.

‘IFS ලැබ්ස්’ හි උප සභාපති බාස් ඩි වොස් මහතා 2021 සැප්තැම්බර් 14 වැනි දින පැවති ඩිජිටල් සැපයුම් දාම සමුළුවේ දී  “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ශක්‍යතාව හා උපායමය කුසලතාව පදනම් කර ගනිමින් අනාගතය සඳහා ව්‍යවසාය මෘදුකාංග වැඩි දියුණු කිරීම” යන මාතෘකාව යටතේ දේශනයක් කළේ ය.

ඩිජිටල්කරණය සහ කෘතිම බුද්ධිය (AI), මූල්‍ය තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය, සැපයුම් දාම කර්මාන්තයේ නවෝත්පාදනය හා තොරතුරු තාක්ෂණ සුරක්ෂිතභාවය යන ක්ෂේත්‍රවල නියුතු සහභාගීවන්නන්ට, ‘ICT ඩිජිටල් වීක්’ හි නවතම තාක්ෂණික ප්‍රවණතා සහ නවෝත්පාදන ප්‍රදර්ශන හා ඉදිරිපත් කිරීම් තුළින්  අනුපමේය අත්දැකීමක් ලැබිණි.  ‘ICT ස්ප්‍රිංග් යුරෝප් 2021’ ප්‍රදර්ශනය, සමාන කණ්ඩායම් හා ආයෝජකයන් සමඟ ජාලයක් නිර්මාණය කරගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේදිකාවක් බව තහවුරු විය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ශක්‍යතා විදහා දැක්වීමටත්, ශ්‍රී ලංකාව උසස් තත්ත්වයෙන් යුත් ගුණාත්මක නිපැයුම් හා සේවා සපයන උප කලාපීය තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකික තාක්ෂණික ව්‍යවසායකයන්ට මෙහිදී අවස්ථාව උදා විය.

ප්‍රදර්ශනය සඳහා පුද්ගලිකව සහභාගී වූ පිරිසට අමතරව, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සමාගම් කිහිපයක් අන්තර් ව්‍යාපාරික හමු සහ ඩිජිටල් සමුළු සඳහා අතථ්‍ය අයුරින් සහභාගී විය.

යුරෝපා සංගමයේ ගනුදෙනුකරුවන් සමඟ ප්‍රබල ව්‍යාපාර හමු කිහිපයක් පැවැත්වීමට සහභාගී වූ පිරිසට හැකියාව ලැබිණි. තවද, මෙම සංගම් මේ වන විට යුරෝපා සංගම් කලාපය තුළ තම ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා ශක්‍යතා පූර්ණ හවුල්කරුවන් සහ ආයෝජකයන් සමඟ සාකච්ඡාවල නිරතව සිටියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2021 ඔක්ම්බතෝම්ර්බර් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close