ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 මාර්තු 19 සිට 20 දක්වා දිනවල දී මහජන බංග්ලාදේශ ජනරජයේ දී නිරත වූ රාජ්‍ය සංචාරය පිළිබඳ ඒකාබද්ධ සන්නිවේදනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 මාර්තු 19 සිට 20 දක්වා දිනවල දී මහජන බංග්ලාදේශ ජනරජයේ දී නිරත වූ රාජ්‍ය සංචාරය පිළිබඳ ඒකාබද්ධ සන්නිවේදනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා

2021 මාර්තු 19 සිට 20 දක්වා දිනවල දී මහජන බංග්ලාදේශ ජනරජයේ දී නිරත වූ රාජ්‍ය සංචාරය පිළිබඳ

ඒකාබද්ධ සන්නිවේදනය

  1. මහජන බංග්ලාදේශ ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු ෂෙයික් හසීනා මැතිනියගේ ආරාධනයෙන්, බංග්ලාදේශයේ ජාතියේ පියා වන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයට නිදහස ලැබීම පිළිබඳ ස්වර්ණ ජයන්තිය සැමරීමේ උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 මාර්තු 19 - 20 දිනවල දී බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත විය.
  2. 2020 අගෝස්තු මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිරත වන ලද පළමු විදෙස් සංචාරය මෙම රාජ්‍ය සංචාරය බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.
  3. මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අධ්‍යාපන අමාත්‍යතුමා, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යතුමා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යතුමා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා, විදේශ ලේකම්තුමා සහ ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එක් වූහ.
  4. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය විසින් පිළිගැනීමෙන් අනතුරුව, ඩාකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී චාරිත්‍රානුකූලව පිළිගැනීමක් සිදුකරනු ලැබීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරව දැක්වීම පිණිස බංග්ලාදේශ අග්‍රාමාත්‍යතුමිය විසින් මාර්තු 19 වැනි දින රාජ්‍ය භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
  5. 1971 විමුක්ති යුද්ධයේදී දිවි පිදූවන් සිහි කිරීම සඳහා බංග්ලාදේශයේ සාවාර් හි පිහිටුවන ලද ජාතික දිවි පිදූවන්ගේ ස්මාරකය වෙත ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊට උපහාර දැක්වීය. එතුමාජාතික දිවි පිදූවන්ගේ අනුස්මරණ පරිශ්‍රයේ දී පැළයක් ද රෝපණය කළේය. ඩාකා හි බංගබන්දු අනුස්මරණ කෞතුකාගාරයේ දී බංග්ලාදේශ ජාතියේ පියා වන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ අනුස්මරණය වෙනුවෙන් එතුමා මහත් සේ උපහාර දැක්වීය.
  6. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා බංග්ලාදේශජනාධිපති අතිගරු මොහමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා හමු වූ අතර, මාර්තු 20 වැනි දින අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. බංග්ලාදේශ විදේශ අමාත්‍ය ගරු ආචාර්ය ඒ.කේ. අබ්දුල් මෝමන් මැතිතුමා ද අග්‍රාමාත්‍ය රාජපක්ෂ මැතිතුමා හමුවිය.
  7. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මාර්තු 19 වැනි දින ඩාකා හි ජාතික පෙළපාළි පිටියේ දී පැවති විශේෂ වැඩසටහනේ ‘ගෞරවනීය ආරාධිතයා’ ලෙස අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය ඉදිරිපිට දී බංගබන්දු අනුස්මරණ දේශනය පැවැත්වීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය දේශනයේ දී ජාතියේ පියා වන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාට සහ ස්වෛරී හා ස්වාධීන බංග්ලාදේශයක් බිහිවීම සඳහා තුඩු දුන් එතුමාගේ දූරදර්ශී නායකත්වයට මහත් සේ උපහාර දැක්වීය. සොනාර් බංග්ලා, ‘සමෘද්ධිමත් ස්වර්ණමය බෙංගාලය’ පිළිබඳ එතුමාගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා බංගබන්දු මැතිතුමාගේ සාරවත් උරුමය සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබඳව එතුමා අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනියට ප්‍රශංසා කළේය.
  8. වසංගත තත්ත්වය මධ්‍යයේ වුව ද, මෙම අවස්ථාව අලංකාර කරමින් ඊට සහභාගී වීම සහ බංග්ලාදේශය සහ එහි ජනතාව කෙරෙහි එතුමා දක්වන සහයෝගිතාව ප්‍රකාශ කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිය ස්තූතිය පුද කළාය.
  9. අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 මාර්තු 20 වැනි දින ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, දෙරට අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය පිළිබිඹු කරමින් එය මහත් උණුසුම් සුහදතාවයෙන් සලකුණු විය. නායකයින් දෙපළ බංග්ලාදේශ - ශ්‍රී ලංකා සබඳතාවල සියලු අංශ පිළිබඳව සාකච්ඡා කළ අතර, සමකාලීන ජාත්‍යන්තර හා කලාපීය පොදු අවශ්‍යතා පිළිබඳව ද සාකච්ඡා කළහ. ඉතිහාසය, සම්ප්‍රදාය, සංස්කෘතිය සහ දෙරට අතර පවතින පොදු සමානකම් රාශියක් පිළිබඳව ඔවුහු සිහිපත් කළහ. දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා ස්වෛරීභාවය, සමානාත්මතාවය, මිත්‍රත්වය, විශ්වාසය සහ අවබෝධය මත පදනම් වූ ප්‍රායෝගික හා පරිණත ප්‍රවේශයකින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ ස්ථිර කැපවීම නැවත අවධාරණය කළහ.
  10. බංග්ලාදේශයේ කොවිඩ්-19 වසංගතය ඵලදායී ලෙස හසුරුවා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනියගේ නායකත්වය අගය කළේය. ‘සාර්ක් කොවිඩ්-19 හදිසි අරමුදල’ යටතේ ශ්‍රී ලංකාවට කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපාංග ලබා දීම මඟින් රජය දැක්වූ සහයෝගයට එතුමා ස්තූතිය පුද කළේය. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය සමඟ සාර්ථක ලෙස කටයුතු කිරීමේ දී ආදර්ශමත් නායකත්වයක් ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ප්‍රශංසා කළාය. වසංගතය පැවති සමයේ දී එකිනෙකාගේ ජාතිකයින් වෙත ලබා දෙන ලද කොන්සියුලර් සහාය හා නැවත සියරට පැමිණවීමේ සේවාවන් නායකයන් දෙපළම අගය කළහ.
  11. අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනියඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනතා හිතවාදී නායකත්වය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ගන්නා ලද පියවර සහ ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වූ දැක්ම අගය කළාය. ජාතික සමගිය, සංහිඳියාව සහ සංවර්ධනය උදෙසා එතුමාගේ රජය දරන ප්‍රයත්නය ද එතුමියගේ ඇගයීමට ලක් විය. නායකයන් දෙපළම ඔවුන්ගේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ආයතනිකකරණය කිරීම ද අගය කළහ.
  12. අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනියගේ දූරදර්ශී නායකත්වය යටතේ, පසුගිය දශකය තුළදී බංග්ලාදේශයේ සිදු වූ දැවැන්ත සමාජ-ආර්ථික සංවර්ධනය සහ ආහාර ස්වයංපෝෂිතභාවය, දරිද්‍රතාවය තුරන් කිරීම, බලශක්ති උත්පාදනය, කෘෂිකර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, කාර්මීකරණය, සේවා අංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඩිජිටල්කරණය, ආපදා කළමනාකරණය, කාන්තා සවිබල ගැන්වීම, දේශගුණික විපර්යාස අනුවර්තනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය යනාදී ක්ෂේත්‍රවල ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රශංසා කළේය. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ වුවද බංග්ලාදේශයේ පවතින සිත් ඇදගන්නා සුළු ආර්ථික වර්ධනය පිළිබඳව ද එතුමා ප්‍රශංසා කළේය. සංවර්ධනය සඳහා බංග්ලාදේශයේ ගෝලීය නායකත්වය සහ ලෝකයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දෙන දායකත්වය එතුමා පිළිගත්තේය. ගෝලීය වසංගතයේ අභියෝග මධ්‍යයේ වුවද, අවම සංවර්ධිත රටක සිට සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් කරා රට ගෙන යාම පිළිබඳව එතුමා අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනියට සුබ පැතුවේය.
  13. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිසටනේ දී ලබා දුන් නොසැලෙන සහයට සහ මෙම සන්දර්භය තුළ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනියට සහ බංග්ලාදේශ රජයට ස්තූතිය පුද කළේය. ජිනීවා හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.
  14. රඛයින් ප්‍රාන්තයෙන් බලහත්කාරයෙන් අවතැන් කරන ලදමිලියන 1.1 ක් වූ රෝහින්ග්‍යා වැසියන්ට රැකවරණය හා මානුෂීය ආධාර සැපයීම සම්බන්ධයෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍යතුමිය දැක්වූ ත්‍යාගශීලීභාවය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අගය කළේය. රෝහින්ග්‍යා වැසියන් සිය මව්බිමට ස්වේච්ඡාවෙන්, ආරක්ෂිතව, කඩිනමින්, ගෞරවනීයව හා තිරසාර ලෙස නැවත පැමිණීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරු දෙපළම නැවත අවධාරණය කළහ. අසල්වැසි රටවල අවතැන්වූවන් සඳහා ශ්‍රී ලංකාව නිවාස සපයන අතර, අනුමත නීතිමය රාමු සහ නියමිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව කටයුතු කරමින්, ගැටළු විසඳීම සඳහා සෑම විටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටී. රෝහින්ග්‍යා අර්බුදය විසඳීම සඳහා බංග්ලාදේශයට සහාය දෙන ලෙස බංග්ලාදේශ අග්‍රාමාත්‍යතුමිය ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය.
  15. ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩ අන්තවාදය සහ රැඩිකලීකරණය හේතුවෙන්බහුත්වවාදී සමාජවලට එරෙහිව පැන නගින තර්ජන හඳුනා ගනිමින්, දෙරටේම, කලාපය තුළ සහ ඉන් ඔබ්බෙහි පවත්නා එවැනි අභියෝගයන්ට මුහුණ දීම සඳහා නායකයින් දෙපළ එක්ව කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්හ. මෙම සංකීර්ණ, පොදු ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම පිණිස ද්විපාර්ශ්වික සහයෝගීතාවයට පහසුකම් සැලසීම සඳහා ඒකාබද්ධ ආයතනික යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ. ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි බංග්ලාදේශයේ අත්දැකීම් ‘සමස්ත සමාජයේ’ ප්‍රවේශයක් හරහා බෙදාහදා ගැනීමට බංග්ලාදේශ අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් වූවාය.
  16. දෙරට අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමේ  සහපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මට්ටම ඇතුළුව ඉහළ මට්ටමේ හුවමාරු කිරීම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරුන් දෙපළම අවධාරණය කළහ. බංග්ලාදේශ-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම පිළිබඳව සඳහන් කරමින්, අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සමඟ සංගමය පුනර්ජීවනය කිරීමට නායකයන් දෙදෙනා එකඟ වූ අතර, දෙරට අතර සබඳතා ගැඹුරු කිරීම සඳහා උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාදායකයින් දිරිමත් කළහ.
  17. සමස්ත ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වැදගත් උත්ප්‍රේරකයක් ලෙස විදේශ කාර්යාල උපදේශන (FoC), ඒකාබද්ධ ආර්ථික කොමිෂන් සභාව (JEC), ආංශික ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් (JWGs), ඒකාබද්ධ වැඩසටහන්/ වැඩ සැලසුම් ඇතුළුවදෙරට අතර පවත්නා ආයතනික යාන්ත්‍රණයන් යලි පණගැන්වීම පිළිබඳව නායකයින් දෙපළම අවධාරණය කළහ. මෙම සන්දර්භය තුළ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමේ අරමුණින් යුතුව දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් විස්තීර්ණ සහයෝගීතාව සඳහා ඒකාබද්ධ උපදේශන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා නායකයන් දෙදෙනා එකඟ වූහ. මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක කෙටුම්පතක් කඩිනමින් බංග්ලාදේශ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ඇත.
  18. ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA)කරා යාම සඳහා දෙරට අතර අත්සන් තබා ඇති ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම ගැන සඳහන් කරමින්, නායකයින් දෙදෙනා දේශපාලන සබඳතා සමඟ නොගැළපෙන ලෙස ඉතා පහළ මට්ටමේ විභවයක පවතින, ද්විපාර්ශ්වික වෙළඳාමේ සහජීවනය උපයෝගී කර ගැනීම සඳහා ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමට කඩිනමින් එළඹීමට ඇති කැපවීම යළිත් අවධාරණය කළහ. මේ සඳහා ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනය වහා නිමකිරීමට නායකයන් දෙදෙනා එකඟ වූහ. මේ අතර, ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමෙහි පළමු පියවර ලෙස, අනාගතයේ දී පුළුල් වෙළඳාමක්, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරයක් සඳහා අවස්ථා විවර කළ හැකි කෙටි නිෂ්පාදන ලැයිස්තුවක් සමඟින් ආරම්භ වන ද්විපාර්ශ්වික වරණීය වෙළඳ ගිවිසුමක් (PTA) සඳහා කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ. වෙළඳාම පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ මීළඟ රැස්වීම නොබෝ දිනකින් පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.
  19. තීරුබදු නොවන බාධක හඳුනා ගැනීම හා ඉවත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත් ප්‍රමිතීන් සරල කිරීම හා එකඟ කිරීම ඇතුළුව වෙළඳ පහසුකම් සැපයීම සඳහා පියවර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. වෙළඳාම් කළ හැකි භාණ්ඩ ගොන්න විවිධාංගීකරණය කිරීමටත් වෙළඳ හා වාණිජ සබඳතාවලට නැවුම් ශක්තියක් එක් කිරීම සඳහා නව්‍ය ක්‍රම සොයා ගැනීමටත් දෙපාර්ශ්වයම එකඟ වූහ. මෙම සන්දර්භය තුළ, දෙපාර්ශ්වයම එකිනෙක පාර්ශ්වයන්හි ඍණාත්මක ලැයිස්තුවලින් සෆ්ටා ගිවිසුම යටතේ පවතින අයිතම අංඛ්‍යාවතවදුරටත් අඩු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. මෙම සන්දර්භය තුළ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ බංග්ලාදේශ ප්‍රමිති සහ පරීක්ෂණ ආයතනය (BSTI) සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) අතර අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධාරණය කෙරිණි.
  20. ඖෂධ අංශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායකවියහැකි සහයෝගීතාවය සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරු දෙපළම බංග්ලාදේශයෙන් ගුණාත්මක ඖෂධ නිෂ්පාදන වැඩි ප්‍රමාණයකින් මිලදී ගැනීමට මෙන්ම, බංග්ලාදේශ ඖෂධ නිෂ්පාදන සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම, සරල කිරීම හා කඩිනම් කිරීමට දඑකඟ වූහ.
  21. නැව්ගත කිරීම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයකට විභවයක් ඇති ප්‍රධාන අංශයක් ලෙසනායකයන් දෙදෙනා විසින් අවධාරණය කරන ලද අතර, එමඟින් සම්බන්ධතාවය වැඩි දියුණු කරමින්, දෙරට අතර සහ ඉන් ඔබ්බට ද්විපාර්ශ්වික වෙළඳාම සඳහා තවදුරටත් අවස්ථා විවෘත වේ. වෙරළබඩ නැව්ගත කිරීමේ ගිවිසුම සහ චැටෝග්‍රෑම් සහ කොළඹ අතර පෝෂක සේවා පිළිබඳ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ (SOP) කෙටුම්පත පිළිබඳ සාකච්ඡා දියුණු මට්ටමක පවතින බව නිරීක්ෂණය කරමින්, ඒවට ඉක්මනින් එළඹීමට ඔවුහු එකඟ වූහ. ඉතිරිව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා, නැව්ගත කිරීම පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ මීළඟ රැස්වීම් හා නාවික කටයුතු පිළිබඳ ලේකම් මට්ටමේ සාකච්ඡා ඉක්මනින් පැවැත්වීමට ද ඔවුහු උපදෙස් දුන්හ.
  22. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරික ආයතන ගණනාවක් බංග්ලාදේශයේ ආයෝජනය කර ඇති බව දෙපාර්ශ්වයම සතුටින් සඳහන් කළහ. රෙදිපිළි, ගෙතූ ඇඳුම්, ලිනන්, සම්, ඖෂධ, කෘෂි පාදක කර්මාන්ත සහ වානේ සහ ඉංජිනේරු කටයුතු, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආගන්තුක සත්කාර වැනි අංශ සඳහා ශ්‍රී ලාංකික ආයෝජන බංග්ලාදේශය විසින් වැඩි වශයෙන් පිළිගනු ලැබීය. ඖෂධ, අගය එකතු කළ ඇඟලුම්, ආහාර සැකසුම්, සැපයුම් සේවා, සංචාරක කටයුතු හා තොරතුරු තාක්ෂණ සේවා යන අංශයන්හි නව අවස්ථා සොයා ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ ව්‍යාපාරික අංශයට ආරාධනා කළේය.නායකයන් දෙපළම ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂණ ගිවිසුම කඩිනමින් අවසන් කිරීම දිරිමත් කළහ.
  23. දෙරටේ පෞද්ගලික අංශ අතර, විශේෂයෙන් ඉහළ පෙළේ ඇඟලුම් හා රෙදිපිළි, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ අදාළ දැනුම කර්මාන්තය, හනසහ හන නිෂ්පාදන, ආගමික හා පරිසර සංචාරකකටයුතු, මැණික්, ස්වර්ණාභරණ සහ වටිනා ලෝහ, කෘෂිකාර්මික හා කෘෂි සැකසුම්, ධීවර - පශු සම්පත් - කිරි - උද්‍යාන විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය, යටිතල පහසුකම් සංවර්ධනය හා ඉදිකිරීම්, ඖෂධ, බලශක්තිය සහ විදුලි බලය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතා හවුල්කාරිත්වය පිළිබඳ විභවය නායකයින් දෙදෙනා හඳුනා ගත්හ. දෙරටේ ආයෝජනවලට හවුල් ව්‍යාපාර, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය තුළින් ප්‍රතිලාභ ලැබිය හැකි බව ඔවුහු අවධාරණය කළහ. ආයෝජන ඇතුළුව, වාසිදායක සහ ප්‍රතිඵල මත පදනම් වූ සහයෝගීතාව පිළිබඳ සංවාදය ඉහළ නැංවීම සඳහා ඔවුහු දෙරටේ ආංශික කර්මාන්ත, කර්මාන්ත සංගම්, වාණිජ මණ්ඩල ආදිය දිරිමත් කළහ.
  24. ඇඟලුම් කර්මාන්ත පිළිබඳ දෙරටේ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් නායකයින් දෙදෙනා චැටෝග්‍රෑම් බීජීඑම්ඊඒ විලාසිතා හා තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පසු විපරම පිළිබඳව අවධාරණය කළහ.
  25. නිෂ්පාදන හා සේවා අංශයන්හිශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ වෘත්තිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් සඳහා සත්කාරකත්වය සැපයීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට ස්තූතිය පුද කළේය. දෙරටේ ජාතිකයින්ට පහසුවෙන් ගමන් කිරීම සඳහා පහසුකම් සැලසීමට කටයුතු කිරීමට නායකයන් දෙදෙනා එකඟ වූහ.
  26. පුළුල් ආර්ථික හවුල්කාරිත්වයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දෙරට අතර රේගු සහයෝගීතාව පිළිබඳ ගිවිසුමෙහි කටයුතුඉක්මණින් නිම කරන ලෙස නායකයින් අදාළ බලධාරීන්ට නියම කළේය.
  27. බංග්ලාදේශ ආයෝජන සංවර්ධන අධිකාරිය (BIDA) සහශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය (BoI) අතර අවබෝධතා ගිවිසුම භාවිතා කරමින් අදාළ විශේෂ ආර්ථික කලාප, කාර්මික උද්‍යාන, අධි තාක්‍ෂණික උද්‍යාන ආදියෙහි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ආයෝජන සඳහා පහසුකම් සැලසීමට දෙපාර්ශ්වයම එකඟ විය.
  28. ආයෝජන, විනිමය හුවමාරුසහ තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් සමීපව සහයෝගයෙන් කටයුතු කරන ලෙස නායකයන් දෙපළම තම මහ බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටීමට එකඟ වූහ.
  29. ලෝකයේ ඉහළම තොරතුරු තාක්‍ෂණ සේවාසඳහා බාහිර සේවා සපයන ස්ථාන ලෙස දෙරටේ සාධනය ගැන සඳහන් කරමින්, නායකයින් දෙපළ වෙළඳපල තරඟකාරිත්වය තවදුරටත් පුළුල් කිරීම පිණිස, අදාළ තරඟකාරී වාසි සහ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම භාවිතා කිරීම සඳහා දෙරටේ කර්මාන්ත දිරිමත් කිරීමට එකඟ වූහ. දෙරටේ අදාළ පාර්ශ්වකරුවන් අතර වැඩි සහයෝගීතාවයක් හා හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා ඒ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීම පැවැත්වීමට ද එකඟ විය.
  30. දෙරටේ නාවිකහමුදා නෞකාවල පුහුණුව හා සුහද චාරිකා හුවමාරු කර ගැනීම තුළින් ආරක්ෂක ක්‍ෂේත්‍රයේ පවත්නා අඛණ්ඩ සහයෝගීතාවය දෙපාර්ශ්වයම සතුටින් සඳහන් කළහ.
  31. උසස් අධ්‍යාපනය පිළිබඳ වියහැකි සහයෝගීතාව හඳුනාගනිමින්,නායකයන් දෙදෙනා බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධාරණය කළහ. ඒ මත පදනම්ව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ උසස් අධ්‍යාපන ආයතන අතර සමීප සහයෝගීතාවයකට පහසුකම් සැලසීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වූහ.
  32. රජයේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය හා දන්ත අධ්‍යයන ඇතුළු උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා බංග්ලාදේශය මඟින් ශ්‍රී ලංකා සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව හා පහසුකම් ශ්‍රී ලංකාව අගය කළේය. ශ්‍රීලාංකික සිසුන්ට සිය අධ්‍යාපනික සුදුසුකම් ශ්‍රී ලංකාවේ දීප්‍රයෝජනයට ගත හැකි වන පරිදි, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාල පිළිගැනීමේ ගැටළුව කඩිනමින් විසඳන ලෙස නායකයන් දෙදෙනාම අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්හ. බංග්ලාදේශ හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන සහයෝගය බංග්ලාදේශය අගය කළේය.
  33. දෙරටේ ආර්ථිකයන්හි ජන විකාශන පැතිකඩ සහ රටාවන් හඳුනා ගනිමින්, කුසලතා හා මානව සම්පත් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටත් නව්‍ය හවුල්කාරිත්වයන් දිරිමත් කිරීමටත් දෙපාර්ශ්වයම එකඟ වූහ. මෙම සන්දර්භය තුළ දෙරට අතර තරුණ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා වන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඔවුන් පිළිගත්තේය.
  34. දෙරට අතර සමුද්‍රීය කටයුතුවල සහ නිල් ආර්ථිකයේ වියහැකි සහයෝගීතාවය හඳුනාගනිමින්, බෙංගාල බොක්ක සාමය, වර්ධනය සහ සමෘද්ධිය සහිත කලාපයක් බවට පත්කිරීමේ අවස්ථාවන් උපයෝගී කර ගැනීම සඳහා නව ක්ෂේත්‍ර සහ නව්‍ය ක්‍රම ගවේෂණය කිරීමට එක්ව කටයුතු කිරීමටනායකයින් දෙපළ එකඟ වූහ. ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවෙන් සහය ලබා ගැනීමට බංග්ලාදේශ පාර්ශ්වය කැමැත්ත පළ කළේය. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) තුළ ශ්‍රී ලංකාවේ නායකත්ව කාර්යභාරය බංග්ලාදේශ අග්‍රාමාත්‍යතුමිය අගය කළාය. 2021-2023 කාල සීමාව සඳහා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේසභාපති ධුරය භාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට සුබ පැතුවේය.
  35. පුද්ගලාන්තර සබඳතා, සංචාරක කටයුතු හා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා, වැඩි දියුණු කරන ලද ගුවන් සම්බන්ධතාවයේ වැදගත්කම වටහා ගත් දෙපාර්ශ්වයම දෙරට අතර වැඩිවන ගුවන් ගමනාගමන ඉල්ලුම සපුරාලීම සඳහා නොබෝ දිනකින් කොළඹට බංග්ලාදේශ ගුවන් යානා මගින් ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟ වූහ.
  36. බංග්ලාදේශයේ කෘෂිකාර්මික අංශයේ සහ මිරිදිය ධීවර කර්මාන්තයේ දියුණුව පිළිබඳව ප්‍රශංසා කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා,බංග්ලාදේශයේ අත්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීම සඳහා කැමැත්ත පළ කළේය. දෙරටේ පෞද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින්, කෘෂිකාර්මික සැකසුම්, කෘෂි ව්‍යාපාර, තාක්‍ෂණික නවෝත්පාදන, සැපයුම් දාම සංවර්ධනය පිළිබඳ සහයෝගීතාව තුළින් කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධ පුළුල් සහයෝගීතාවයක් ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔවුහු අවධාරණය කළහ. කෘෂිකාර්මික ව්‍යාප්තිය, පුහුණුවීම්, වී ගොවිතැනේ නවෝත්පාදනයන් සහ බංග්ලාදේශයේ මිරිදිය ධීවර කර්මාන්තය පිළිබඳ හුරුපුරුදු වීමේ චාරිකා/ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම්වලට සත්කාරකත්වය සැපයීමට බංග්ලාදේශය ඉදිරිපත් විය. බංග්ලාදේශ කෘෂිකාර්මික පර්යේෂණ කවුන්සිලය (BARC) සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ හා ප්‍රතිපත්ති කවුන්සිලය (SLCARP) අතර 2011 දී අත්සන් තබන ලද වැඩ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළහ. බංග්ලාදේශ කෘෂිකාර්මික පර්යේෂණ කවුන්සිලය සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ හා ප්‍රතිපත්ති කවුන්සිලය අතර අවබෝධතා ගිවිසුම අලුත් කිරීම ද දෙපාර්ශ්වයම පිළිගත් අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීම සඳහා එකඟ විය.
  37. දේශගුණික විපර්යාස පිළිබඳඅවදානම දරන ජාතීන්ගේ සංසදයේ (CVF) මුලසුන දරන රට ලෙස දේශගුණික විපර්යාසයන්ගේ අභියෝග පිළිබඳව කටයුතු කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ නායකත්ව කාර්යභාරය අගය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා, 2019 ඔක්තෝබර් මාසයේ කොළඹ දී කටයුතු අවසන් කරන ලද තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශයට එක්වන ලෙස බංග්ලාදේශයට ආරාධනා කළේය. දෙරටේ දේශගුණික අවදානම පිළිබඳ පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ අවදානම දරන ජාතීන්ගේ සංසදයේ දී එක්ව කටයුතු කිරීමට නායකයන් දෙදෙනා එකඟ වූහ. ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස අනුවර්තනය වීමේ හැකියාවන් පිළිබඳ සිය දැනුම, විශේෂඥතාව සහ පළපුරුද්ද ශ්‍රී ලංකාව සමඟ බෙදාහදාගැනීමට බංග්ලාදේශය ඉදිරිපත් විය.
  38. දෙරටේ ජනතාව අතර වර්ධනය වන අන්තර්ක්‍රියාකාරිත්වය පිළිගත් නායකයන් දෙපළ, විශේෂයෙන් සංස්කෘතික හුවමාරු වැඩසටහන උපයෝගී කර ගනිමින් ජනතාව අතර සම්බන්ධතා හා සංස්කෘතික හුවමාරුව පුළුල් කිරීම සඳහා එකඟ වූහ.
  39. විශේෂයෙන් කලාපීය සංචාරක කර්මාන්තය ඇතුළුව, සංචාරක කර්මාන්තයේපවතින සැලකිය යුතු අවස්ථා පිළිබඳව සඳහන් කරමින්, සංචාරක, අලෙවිකරණ සහ ප්‍රවර්ධන කටයුතු, බෞද්ධ චාරිකා සහ පෞද්ගලික අංශවල ඒකාබද්ධ ආයෝජන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සහ සංචාරක ක්‍රියාකරුවන් සහ දෙරටේ ආගන්තුක සත්කාර අංශයේ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් සංචාරක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා කටයුතු කිරීමට නායකයින් දෙදෙනා එකඟ වූහ. මෙම සන්දර්භය තුළ දෙරට අතර සංචාරක කටයුතු සඳහා සුඛෝපභෝගී වෙරළබඩ සංචාරක නෞකා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට බංග්ලාදේශය යෝජනා කළේය.
  40. බහුපාර්ශ්වීයත්වය සඳහා වූ ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවලදී දේශගුණික විපර්යාස, ආපදා කළමනාකරණය, සංක්‍රමණ, සෞඛ්‍ය, සාම සාධක, මිනිස් ජාවාරම් වැනි සමකාලීන බහුපාර්ශ්වික කාරණා සම්බන්ධයෙන් දෙරට අතර වැඩි අන්තර් ක්‍රියාකාරිත්වය සහ සහයෝගීතාව පිළිගත්තේය. තවදුරටත්, තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය ඵලදායී ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ දැනුම, අදහස්, නව්‍යකරණයන් බෙදාහදා ගැනීමට ඔවුහු එකඟ වූහ.
  41. සමෘද්ධිමත්, සාමකාමී, ස්ථාවර, සියල්ල ඇතුළත් සහ තිරසාර දකුණු ආසියානු කලාපයක අවශ්‍යතාවය නායකයින් දෙදෙනා අවධාරණය කළහ.විවිධ උප කලාපීය සහ කලාපීය සහයෝගීතා යාන්ත්‍රණයන්හි සහයෝගීතාව පුළුල් කිරීමට සහ බිම්ස්ටෙක් (BIMSTEC), සාර්ක් (SAARC) සහ අයෝරා (IORA) යන සංසදවල ඉලක්කගත හා ප්‍රතිඵල මත පදනම් වූ කලාපීය ආර්ථික සහයෝගීතාව සඳහා කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ.
  42. ලෝක සෞඛ්‍ය සංවිධානයේඅග්නිදිග ආසියා කලාපීය කාර්යාලයේකලාපීය අධ්‍යක්ෂ ධුරය සඳහා ඉදිරිපත් වන බංග්ලාදේශයේ අපේක්ෂකයාට ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය.
  43. පහත සඳහන් ද්විපාර්ශ්විකලේඛනවලට අත්සන් තැබීම/ අලුත් කිරීම පිළිබඳව නායකයන් දෙදෙනා සිය බලවත් තෘප්තිය ප්‍රකාශ කළහ:

. තරුණ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා වන සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ මහජන බංග්ලාදේශ ජනරජයේ රජය අතර  අවබෝධතා ගිවිසුම.

ආ. ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය සහ බංග්ලාදේශ කෘෂිකාර්මික පර්යේෂණ සභාව අතර අවබෝධතා ගිවිසුම.

ඇ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සහ මහජන බංග්ලාදේශ ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්මික අධ්‍යාපන අධ්‍යක්ෂ මණ්ඩලය (DTE) අතර වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රලේඛන හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

ඈ. බංග්ලාදේශ හෙදියන් සහ සෞඛ්‍ය සේවකයින් ශ්‍රී ලංකාවේ දී පුහුණු කිරීම පිළිබඳ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ මහජන බංග්ලාදේශ ජනරජයේ රජය අතර අවබෝධතා ගිවිසුම.

ඉ. ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනය සහ බංග්ලාදේශ ජාත්‍යන්තර හා උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

ඊ.  2021-2025 කාලසීමාව සඳහා මහජන බංග්ලාදේශ ජනරජයේ රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන.

  1. දෙරට අතර අත්සන් තබාඇති සියලුම ද්විපාර්ශ්වික ලේඛන නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස නායකයන් දෙපළම අදාළ කාර්යාලවලට උපදෙස් දුන්හ.
  2. මෙම සංචාරයේදී බංග්ලාදේශ රජය සහ එහි ජනතාව විසින් එතුමාට සහ එතුමාගේ දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සහ අනුග්‍රහය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අගය කළේය.
  3. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාපිහිටුවීම පිළිබඳ 50 වැනි සංවත්සරයට සමගාමීව 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනියට ආරාධනා කළේය. එම ආරාධනය පිළිගත් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය, තත්ත්වය අනුව ඉඩ ලැබෙන පරිදි එම සැමරුමට එක්වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළාය.

ඩාකා

2021 මාර්තු 20 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close