ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක (ආරක්ෂක) මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව එක්සත් රාජධානියේ මහාධිකරණය අවලංගු කරයි.

ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක (ආරක්ෂක) මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව එක්සත් රාජධානියේ මහාධිකරණය අවලංගු කරයි.

තමා සම්බන්ධයෙන් වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය (ආරක්ෂක) මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් එක්සත් රාජධානියේ මහාධිකරණය වෙත කරන ලද අභියාචනය සඳහා 2021 මාර්තු 19 වන දින අවසර ලබා දෙන ලදී. මෙහි දී මහාධිකරණය විසින් එහි තීන්දුව මේජර් ජෙනරාල් ප්‍රනාන්දුට මහතාට පක්ෂව ලබා දෙන ලද අතර, වෙස්ට්මින්ස්ටර්  මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2019 දෙසැම්බර් 6 වැනි දින ඔහු වරදකරු කරමින් ලබා දෙන ලද තීන්දුව අවලංගු කොට ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. මේජර් ජෙනරාල් ප්‍රනාන්දු මහතාට ඔහුගේ නඩු ගාස්තු ගෙවන ලෙස ද 2018 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනයේ දී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ එල්ටීටීඊ හිතවාදී උද්ඝෝෂකයින් වන විත්තිකරුවන්ට නියෝග කර තිබේ.

මහාධිකරණය විත්තිකරුවන්ගේ තර්ක තරයේම ප්‍රතික්ෂේප කළ අතර, මේජර් ජෙනරාල් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ තර්ක පිළිගැනීම, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම රාජ්‍ය පාර්ශ්වයන් වන 1961 රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ අඩංගු වන පරිදි රාජ්‍යතාන්ත්‍රික මුක්තිය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් තහවුරු කළේය. “මෙම ගිවිසුම පිළිබඳ අර්ථ නිරූපණය ‘හුදෙක්  වචනාර්ථය’ පිළිබඳ අභ්‍යාසයක් නොවිය යුතුය. එය කියවිය යුත්තේ එහි ‘වස්තුව හා අරමුණ’ යන සන්දර්භය තුළ සිටය” යයි මහාධිකරණ තීන්දුව මඟින් ප්‍රකාශ විය. බොහෝ ගිවිසුම්වලට වඩා වියානා සම්මුතියේ කාර්යක්ෂමතාව රඳා පවතින්නේ, එහි පරස්පර ක්‍රියාකාරිත්වය මත බව අධිකරණය පැවසීය. ලැබුම්කාර  රාජ්‍යයේම දූත මණ්ඩලයට අදාළ වන පරිදි එම ප්‍රතිපාදනයන්හි සීමා කිරීමක් එම රජය විසින් සිදු කරන්නේ නම්, යැවුම්කාර රාජ්‍යයක රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් සඳහා ලබාදෙන ප්‍රතිපාදන සීමා කිරීමට වියානා සම්මුතියේ 47.2 වගන්තිය මඟින් ඕනෑම ලැබුම්කාර රාජ්‍යයකට බලය පවරයි.

අසත්‍ය ප්‍රකාශ හෝ පදනම් විරහිත චෝදනා සහ අසතුටුදායක විනිශ්චය සභා පිළිබඳ අවදානම හේතුවෙන් පැන නගින රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය කෙරෙහි එල්ල වන තර්ජනය පිළිබඳව ද එක්සත් රාජධානියේ මහාධිකරණය අවධානය යොමු කරයි. එයින් අදහස් කෙරෙන්නේ, එක්සත් රාජධානියේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, බ්‍රිතාන්‍යයේ විදේශ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ප්‍රදානය කිරීමේ වැදගත් අරමුණ , බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වෙනත් ස්ථානවල දී ඊට අනුරූප ලෙස මුක්තිය භුක්ති විඳීම සහතික කිරීම බවයි.

එක්සත් රාජධානියේ විදේශ තානාපති කාර්ය මණ්ඩලවලට ලබා දී ඇති සමාන රැකවරණය වෙනුවෙන්, එක්සත් රාජධානියේ සිටින සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලවලට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය පිළිබඳ මූලධර්මය මඟින් ආරක්ෂාව සපයන බව එක්සත් රාජධානියේ මහාධිකරණය තවදුරටත් පවසයි. එම මුක්තිය ප්‍රදානය කිරීම අමාත්‍ය ධුරය මත රඳා නොපවතින අතර, එය පවතින්නේ එම ආඥා පනතේ බලය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය මතය.

මේජර් ජෙනරාල් ප්‍රනාන්දු මහතා වෙස්ට්මින්ස්ටර්  මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු විභාගයකට මුහුණ දෙන විට, අවශිෂ්ට මුක්තිය මඟින් ආවරණය නොවන බවට වෙස්ට්මින්ස්ටර්  මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිර්ණය කිරීම ද නිවැරදි නොවන බව මහාධිකරණ විනිසුරුවරු තීරණය කළහ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close