පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කරච්චි නුවර නිල සංචාරයක නිරත වේ

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කරච්චි නුවර නිල සංචාරයක නිරත වේ

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මැතිතුමා 2022 නොවැම්බර් 26 සිට 29 යන දිනවල කරච්චි නුවර සංචාරයක නිරත විය. මහ කොමසාරිස්වරයා එහිදී ව්‍යාපාරික ප්‍රජාවන් සමඟ කටයුතු කරමින් ප්‍රවර්ධන කටයුතුවල නිරත විය.

මහ කොමසාරිස්වරයා කරච්චි නුවර රැඳී සිටි කාලය තුළ, නීතිඥවරයකු සහ මන්ඩ්විවල්ලා ඇන්ඩ් සෆර් නීතිඥ සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරුවකු වන මෙහ්මූද් මන්ඩ්විවල්ලා මහතා සින්ද් පළාතේ හයිද්‍රාබාද් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා ලෙස පත් කරමින් සිය පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දුන්නේ ය.

නිර්වේතනික කොන්සල් මැන්ඩ්විවල්ලා මහතා විසින් සිය නිවසේ දී සංවිධානය කරන ලද ජාලකරණ රාත්‍රී භෝජන සංග්‍රහයක් ප්‍රමුඛ පෙළේ රාජ්‍යායතන සහ ව්‍යාපාරික ආයතනවල සහභාගීත්වයෙන් පැවත්විණි. ඉන් අනතුරුව, මහ කොමසාරිස්වරයා කරච්චි නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ රැස්වීමක් පවත්වා ඔවුන් සමඟ අන්තර් ක්‍රියා පැවැත්වී ය.

නොවැම්බර් 28 වැනි සඳුදා දින පැවති ජාලකරණ දිවා භෝජන සංග්‍රහයකට ද මහ කොමසාරිස්වරයා සහභාගී විය.  කරච්චි නුවර පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල නියෝජිතයෝ ද ඊට සහභාගී වූහ. කරච්චි නුවර කොමසාරිස් එම්. ඉක්බාල් මෙමොන් මහතා, පකිස්තානයේ රේගු අධ්‍යක්ෂ ජනරාල් (සංක්‍රමණ) ආචාර්ය ඉෆ්තිකාර් අහමඩ් මහතා මෙන්ම  කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, පාකිස්තාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය, පාකිස්තාන ඉදිකිරීම්කරුවන්ගේ සහ සංවර්ධකයන්ගේ සංගමය, පාකිස්තාන නූල් වෙළඳුන්ගේ සංගමය, පාකිස්තාන ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය, පාකිස්තාන සහල් අපනයනකරුවන්ගේ සංගමය, පාකිස්තාන අක්ෂි බැංකු සංගමය සහ ඉංග්‍රීසි- කථන සංගමය යන ආයතනවල නියෝජිතයෝ ද මෙම දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගී වූහ.

මහ කොමසාරිස්වරයා මෙම සංචාරය අතරතුර පාකිස්තාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති අස්ලම් පකාලි මහතා සහ එහි නිලධාරී මණ්ඩලය හමුවී දෙරට අතර වෙළෙඳ කටයුතු වැඩිදියුණු කිරීමේ ඉදිරි පියවර  පිළිබඳව සාකච්ඡා කළේ ය.

තවද, මහ කොමසාරිස්වරයා පාකිස්තානයේ ප්‍රමුඛතම වාණිජ මණ්ඩලය වන කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (KCCI) විසින් සංවිධානය කරන ලද රැස්වීමකට ද සහභාගී විය. KCCI ආයතනය කරච්චි නුවර ව්‍යාපාරික සහ කාර්මික ප්‍රජාව නියෝජනය කරන අතර, එය ජාතික භාණ්ඩාගාරයට 65% කට වඩා වැඩි ආදායමක්  ලබා දෙමින් මිලියන 22 කට අධික ජනතාවක් වෙසෙන කරච්චි නුවර සඳහා සිය දායකත්වය ලබා දෙයි. KCCI ආයතනය පාකිස්තානයේ සහ උපමහාද්වීපයේ විශාලතම වාණිජ මණ්ඩලය වේ.

කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ජගත් අබේවර්ණ, පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක යූ.එල්. නියාස් සහ හයිද්‍රාබාද් හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් මෙහ්මූද් මන්ඩ්විවල්ලා යන මහත්වරු ද මෙම අවස්ථාවන් සඳහා සහභාගී වූහ.

කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, කරච්චි නුවර පෞද්ගලික අංශයේ ආයතන සමඟ එක්ව, මහ කොමසාරිස්වරයාගේ සංචාරයේ වැඩ කටයුතු සංවිධානය කොට සම්බන්ධීකරණය කළේ ය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

කරච්චි

2022 දෙසැම්බර් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close