විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වොෂින්ටන් ඩී.සී. හිදී ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වොෂින්ටන් ඩී.සී. හිදී ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2022 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 02 යන දිනවල වොෂින්ටන් ඩී.සී. හි නිල සංචාරයක නිරත විය. තවද එතුමා රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ. බ්ලින්කන් මහතා හමුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර සංචාරයක නිරත විය. සිකුරාදා (02) දින රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී ඵලදායී සාකච්ඡාවක නිරත වූ ඔවුහු දෙපළ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා 75 වසරක් සපිරීම නිමිත්තෙන්  2023 වසරේ දී සමරනු ලබන සංවත්සරය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව පවත්නා ශ්‍රී ලංකා - එක්සත් ජනපද සබඳතා තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළ හ.

ලේකම් බ්ලින්කන් මහතා හමුවීමට අමතරව, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම සංචාරය අතරතුර වැඩිදුර අන්තර්ක්‍රියා පැවැත්වීම සඳහා පහසුකම් සැලසූ අතර, ප්‍රධාන පක්ෂ දෙකම නියෝජනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ දේශපාලන නායකයන් සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුළු ප්‍රමුඛ පෙළ එක්සත් ජනපද මැදිහත්කරුවන් සමඟ පැවැත්වූ රැස්වීම් ද ඊට ඇතුළත් විය.

අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විදේශ සබඳතා පිළිබඳ සෙනෙට් කමිටුවේ සාමාජිකයකු වන සෙනෙට් සභික බිල් හේගර්ටි (රිපබ්ලිකන් - ටෙනසි) මහතා ද හමුවිය. තවද එතුමා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික නිදහස පිළිබඳ සමූහයේ සම සභාපති ධුරය දරන කොංග්‍රස් සභික බිල් ජොන්සන් (රිපබ්ලිකන් - ඔහායෝ)  මහතා සහ ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන රාජා ක්‍රිෂ්ණමූර්ති (ඩිමොක්‍රටික් -ඉලනෝයි) මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වී ය.

අමාත්‍යවරයා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය සමඟ ද හමුවක් පැවැත්වූ අතර, USAID ආයතනය ශ්‍රී ලංකාවට දක්වන නොමසුරු සහයෝගය පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කළේ ය. එතුමා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය සමඟ පැමිණි සිවිල් ආරක්‍ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ උප ලේකම් තානාපති උස්රා සේයා මහත්මිය ද හමුවිය.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම රැස්වීම්වලට සහභාගී වූහ.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

 

2022 දෙසැම්බර් 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close