මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද මැදපෙරදිග, මධ්‍යම ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා පවත්වයි

 මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද මැදපෙරදිග, මධ්‍යම ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා පවත්වයි

ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද නවදිල්ලියේ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ පවත්නා සබඳතා වැඩි දියුණු කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග සිතියමේ අංගයක් ලෙස, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතමා විසින් අද (2) දින මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී මැදපෙරදිග, මධ්‍යම ආසියාතික සහ අග්නිදිග ආසියාතික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් පවත්වන ලදී. අසර්බයිජානය, බහරේනය, කාම්බෝජය, කසකස්තානය, ප්‍රජාතාන්ත්‍රික කොරියානු ජනරජය, මොංගෝලියාව, සිරියාව, ටජිකිස්තානය, ලෙබනනය, කිර්ගිස්තානය සහ ෆීජි යන රටවල දූත මණ්ඩල ප්‍රධානීහු මෙම අන්තර් ක්‍රියාකාරී සැසිය සඳහා සහභාගී වූහ.

මෙම සැසියේ පරමාර්ථය වූයේ අදාළ රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීම යි. 11 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස පිළිගත් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සූදානමෙන් පසුවන බව සහතික කළේ ය. මෙරට මෑතකාලීන ආර්ථික හා දේශපාලනික ප්‍රවණතා පිළිබඳව ඔවුන් දැනුම්වත් කළ මහ කොමසාරිස්වරයා, දුෂ්කර කාල පරිච්ඡේදයේ දී මෙරටට ලබා දුන් සහය සහ දිරිගැන්වීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත සිය කෘතඥතාව පළ කළේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා දායක විය හැකි ප්‍රධාන අංශ තුන වන්නේ වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය බව එතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. ධීවර කර්මාන්තය, සම්බන්ධතාව සහ පුද්ගලාන්තර සම්බන්ධතා පිළිබඳව ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු විය.

තවද, ශ්‍රී ලංකාව එළඹෙන වසරේ පෙබරවාරි මස සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන බව සඳහන් කළ මහ කොමසාරිස්වරයා, 2023 පෙබරවාරි 04 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවයට සහභාගී වන ලෙස රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් දිරිමත් කළේ ය. අභිනවයෙන් පත් වූ මහ කොමසාරිස්වරු/තානාපතිවරු සඳහා සංවිධානය කෙරෙන අක්තපත්‍ර ප්‍රදානෝත්සවයක් ද එම කාල සීමාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවද එතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

මෙම සැසිය, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද, නවදිල්ලියේ සිටින රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සමඟ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා පවත්වන ලද හත්වැනි නිරතවීම වේ. එතුමා මීට පෙර යුරෝපීය, ලතින් ඇමරිකානු, කැරිබියානු සහ අප්‍රිකානු කලාපවල නියෝජිතයන් සමඟ නිරතවීම්වල යෙදුණේ ය.

සමගාමීව අක්ත ගන්වන ලද විදේශ දූත මණ්ඩල 94 සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය අතර ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කරයි.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2022 දෙසැම්බර් 05 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close