මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 දෙසැම්බර් 06 වැනි දින ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය ශ්‍රීමතී  නිර්මලා සීතාරාමන් මැතිනිය නවදිල්ලියේ උතුරු ගොඩනැගිල්ලේ පිහිටි එතුමියගේ කාර්යාලයේ දී හමුවිය.

ඉන්දීය ආර්ථික සහයෝගීතාව මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහය වීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා පසුගිය වසරේ නොවැම්බර් මස සිට අමාත්‍ය සීතාරාමන් මැතිනිය සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ නවතම සාකච්ඡාව මෙයයි.

ආරම්භයේ දී සිය අදහස් පළ කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව මේ වන විට පවත්වන සාකච්ඡා සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍ය සීතාරාමන් මැතිනිය දැනුම්වත් කළේ ය. වත්මන් ආර්ථික සංකෝචනය ශ්‍රී ලංකාවේ ජනගහනයේ දිළිඳු පුද්ගලයන් සහ අවදානමට ලක්විය හැකි අංශ කෙරෙහි එල්ල කරන දැඩි බලපෑම පිළිබඳව ද එතුමා මෙහිදී විස්තර කළේ ය.

මෙම අභියෝගාත්මක හා දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ඉන්දියාව පෙර නොවූ විරූ අයුරින් ශ්‍රී ලංකාවට ලබා දුන් කඩිනම් ආධාර මෙන්ම ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් සමඟ එතුමිය සිදු කළ පෞද්ගලික මැදිහත්වීම් සම්බන්ධයෙන් ද මහ කොමසාරිස්වරයා නැවත වරක් අමාත්‍ය සීතාරාමන් මැතිනිය වෙත සිය ස්තූතිය පුද කළේ ය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ අමාත්‍ය සීතාරාමන් මැතිනිය දෙරටේ  ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද සමාලෝචනය කළහ. ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ වෙළෙඳාම යනාදිය ඉහළ නංවන අතරතුර දෙරට අතර බහුවිධ ආර්ථික ඒකාබද්ධතාව ගොඩනැඟීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා ඉන්දියාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළේ ය.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 දෙසැම්බර් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close