ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සමාගම් වියට්නාම් එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා ප්‍රථම වරට සහභාගී වේ

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සමාගම් වියට්නාම් එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා ප්‍රථම වරට සහභාගී වේ

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ සහයෝගයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 දෙසැම්බර් 01 සිට 03 යන දිනවල හෝ චි මිං නගරයේ සායි ගොන් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ (SECC) පැවති වියට්නාම් එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතනවලට සහභාගී වීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කළේ ය. මෙය, වියට්නාම් එක්ස්පෝ ප්‍රදර්ශනයේ 20 වැනි අදියර විය.

හේමාස් මැනුෆැක්චරින්ග් (පුද්) සමාගම, සිලෝන් ෆ්‍රෙෂ් ටීස් (පුද්) සමාගම, සිලෝන් බිස්කට්ස් සමාගම, කැලණි  කේබල්ස් (පුද්) සමාගම, සීමාසහිත ඔරෙල් කෝප‍රේෂන් (පුද්) සමාගම සහ හෙල්දි ෆුඩ්ස් ලංකා එක්ස්පෝර්ට්ස් (පුද්) සමාගම, කැන්ඩ්‍රික් ටී බෙවරේජස් ලංකා (පුද්) සමාගම, දැහැමි ප්‍රොඩක්ස්ට් සහ සක්සස් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම යන කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායක සමාගම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නියෝජනය කරමින් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සමාගම් මෙහිදී වෙළඳ විමසීම් 100 කට අධික ප්‍රමාණයක් ලැබූ අතර උනන්දුවක් දක්වන පාර්ශ්ව සමඟ ව්‍යාපාරික රැස්වීම් විශාල ප්‍රමාණයක් ද පැවැත්වී ය. ඔවුහු ප්‍රධාන වශයෙන් විදුලි කේබල්, කාර්මික විදුලි නිෂ්පාදන, කුරුඳු නිෂ්පාදන සහ විවිධ තේ වර්ග වැනි නිෂ්පාදන මිලදී ගන්නන් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සමඟ අන්තර් ක්‍රියා පැවැත්වූ හ.

වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යංශයේ දක්ෂිණ කටයුතු පිළිබඳ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් නුයෙන් වන් නා මහත්මිය, හෝ චි මින් නගරයේ වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිතායතනයේ නියෝජ්‍ය නියෝජිත බුයී හුවැන්ග් යෙන් මහත්මිය සහ Vinexad ප්‍රචාරණ සහ වෙළඳ ප්‍රදර්ශන ඒකාබද්ධ කොටස් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති නුයෙන් කක් ලුවාන් මහතා විසින් ශ්‍රී ලංකා මණ්ඩපය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික මෙවලම්, දෘඩාංග සහ අත් මෙවලම්, ආහාර සහ ප්‍රෝපැක්, උද්‍යාන සහ භූමි අලංකරණය වැනි විවිධ නිෂ්පාදන රැගත් කෂේත්‍ර ප්‍රදර්ශනය කිරීම සඳහා එක්ස්පෝ ප්‍රදර්ශනය මඟින් විශිෂ්ට වේදිකාවක් නිර්මාණය විය. විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන වියට්නාම් එක්ස්පෝ ප්‍රදර්ශනය, ආසන්න වශයෙන් කුටි 550 කින් සමන්විත වූ අතර, රටවල් 20 ක් සහ 13,000 දෙනෙකුට අධික නරඹන්නන් පිරිසක් ඊට සහභාගී වූහ.

අපනයන සංවර්ධන මණ්ඩලය සහ ඉහත ව්‍යාපාර ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කළ  දූත මණ්ඩලයේ අමාත්‍ය උපදේශක (වාණිජ) කිෂානි වික්‍රමසිංහ මහත්මිය, ශ්‍රී ලංකාවට මෙම ප්‍රදර්ශනය සඳහා සාර්ථකව සහභාගී වීමට අවැසි කටයුතු සම්බන්ධීකරණය කළා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හැනෝයි

 

2022 දෙසැම්බර් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close