ශ්‍රී ලංකාව සඳහා පවතින සම්බන්ධ වීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා පවතින සම්බන්ධ වීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 දෙසැම්බර් 12 වැනි දින නවදිල්ලියේ දී 2023 සඳහා ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරක හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා හමුවිය.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධානය යොමු වූයේ, ඉන්දියාව G20 කණ්ඩායමේ සභාපතිත්වය දරන සමයේ දී ශ්‍රී ලංකාවට ඒ හා සම්බන්ධ විය හැකි විවිධ මාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් G20 කණ්ඩායමේ ප්‍රවේශය අවබෝධ කර ගැනීමේ හැකියාව පිළිබඳවයි.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා, ඉන්දියාවේ අසල්වැසි රටක් ලෙස G20 හි වැඩ කටයුතු සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාවට පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දියාව 2022 දෙසැම්බර් 01 වැනි දින G20 කණ්ඩායමේ සභාපති ධූරය වසරක කාලයක් සඳහා භාර ගත්තේය. එහි සභාපතිත්වය යටතේ, ඉන්දියාව 2022 දෙසැම්බර් මස සිට රට පුරා නගර 56 ක G20 රැස්වීම් 200 කට අධික සංඛ්‍යාවක් සඳහා සත්කාරකත්වය දැරීමට අපේක්ෂිතය. G20 නායකයින්ගේ රාජ්‍ය නායක/ආණ්ඩු ප්‍රධානී මට්ටමේ සමුළුව 2023 සැප්තැම්බර් 09 සහ 10 දෙදින නවදිල්ලියේ දී පැවැත්වීමට නියමිතය.

රටවල් 19ක් සහ යුරෝපා සංගමයෙන් සමන්විත අන්තර් රාජ්‍ය සංසදයක් වන G20 හෙවත් විස්සේ කණ්ඩායම, ජාත්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට අදාළ ප්‍රධාන ගැටළු විසඳීම සඳහා කටයුතු කරයි.

ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස වැඩ භාර ගැනීමට පෙර, හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා ඉන්දියාවේ විදේශ ලේකම්වරයා විය. ඉන්දීය විදේශ සේවයේ නිලධාරියෙකු වන ඔහු, මීට පෙර තායිලන්තය, බංගලිදේශය සහ ඇමරිකා එක්සත් ජනපදය සඳහා ඉන්දීය තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2022 දෙසැම්බර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close