මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා සමඟ පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කරයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා සමඟ පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති ශ්‍රී  පී. පී. චෞද්රි මහතා 2022 දෙසැම්බර් 13 දින නවදිල්ලියේ දී හමු වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ක්‍රම සහ විධි පිළිබඳව සොයා බැලීය.

මහ කොමසාරිස්වරයා සහ විදේශ කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා අතර හමුව ඔහුගේ නිල නිවසේ දී සුහදව පැවැත්වුණු අතර, එහි පැවති සාකච්ඡාවේ දී කමිටු සහ මිත්‍ර කණ්ඩායම් හුවමාරු කර ගැනීම හරහා පාර්ලිමේන්තු දෙක අතර අන්තර් ක්‍රියා වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු විය.

මහ කොමසාරිස් කාර්යාලයේ ‘ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රටේ උපායමාර්ගය 2021/2023’ ප්‍රතිපත්ති මාර්ග සිතියමෙහි දක්වා ඇති පරිදි, මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සභාපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව, ‘පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගිතාව වර්ධනය කිරීම: පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉහළ නැංවීම’ යන අරමුණට අනුව පැවැත්විණි. මහ කොමසාරිස්වරයා විසින් ඒකාබද්ධ රටේ උපායමාර්ගයේ පිටපතක් විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා වෙත ද පිළිගැන්වීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සහ සභාපතිවරයා අදහස් හුවමාරු කර ගත්හ. මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ශ්‍රී ලංකාවේ වත්මන් වර්ධනයන් පිළිබඳව ඔහුට විස්තර කළ අතර, ආර්ථික අර්බුදයෙන් එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ඉන්දියාව ලබා දී ඇති සහයෝගය පිළිබඳව ස්තුතිය පුද කළේය. දෙරට අතර පවතින ගැඹුරු සහ ඓතිහාසික සබඳතා පිළිබඳව සඳහන් කළ සභාපතිවරයා ප්‍රකාශ කළේ ‘අසල්වැසියා පළමුව’ යන ප්‍රතිපත්තියට අනුකූලව ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවයි.

විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභාව යනු, විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ව්‍යවස්ථාදායක අධීක්‍ෂණය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තීරණ ගැනීම සඳහා ඉන්දීය පාර්ලිමේන්තුව විසින් පිහිටුවන ලද තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත දෙපාර්තමේන්තුවට සම්බන්ධ ස්ථාවර කමිටුවකි (DRSC). එය අමාත්‍යාංශයට විශේෂිත අධීක්‍ෂණය පිළිබඳ කර්තව්‍යය පවරා ඇති දෙපාර්තමේන්තුවට සම්බන්ධ ස්ථාවර කමිටු 24 න් එකකි.

ශ්‍රී පී. පී. චෞද්‍රි මහතා යනු රාජස්ථානයේ පාලි ලෝක් සභා මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන ලෝක් සභාවේ (පහළ මන්ත්‍රී මණ්ඩලයේ) මන්ත්‍රීවරයෙකි. ඔහු ඉන්දීය පාර්ලිමේන්තුවේ ඇස්තමේන්තු කමිටුවේ සහ ව්‍යාපාරික උපදේශක කමිටුවේ ද සාමාජිකයෙකු වෙයි. වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥයෙකු වන ශ්‍රී පී. පී. චෞද්‍රි මහතා, පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකු වන අතර, මීට පෙර ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය, නීතිය සහ අධිකරණ රාජ්‍ය අමාත්‍ය මෙන්ම ආයතනික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2022 දෙසැම්බර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close