සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ජිනීවා නුවර දී පවත්වන ලද 6 වැනි වාරික සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ජිනීවා නුවර දී පවත්වන ලද 6 වැනි වාරික සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

2023 මාර්තු 8 සහ 9 යන දිනවල සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ජිනීවා නුවර දී පවත්වන ලද 6 වැනි වාරික සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී විය. මානව හිමිකම් කමිටුව විසින් දින දෙකක් මුළුල්ලේ පැය 2 ක සැසි තුනක් ඔස්සේ පැවැත්වූ වැඩසටහන අතරතුර ශ්‍රී ලංකාවේ සමාලෝචනය දෙමුහුන් ආකෘතියක් යටතේ පවත්වන ලදී. විදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය සති කිහිපය තුළ මෙම සමාලෝචනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළ අතර, රාජ්‍ය ආයතන ගණනාවක් ද ඒ සඳහා සහභාගී විය.

මානව හිමිකම් කමිටුව යනු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධීක්ෂණය කරන ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකි. සියලුම රටවල සමාලෝචන මෙම කමිටුව විසින් සිදු කරනු ලැබේ. ඊජිප්තුව, ටර්ක්මෙනිස්තානය, සැම්බියාව, පේරු සහ පැනමාව යන රාජ්‍යයන් ද , 2023 පෙබරවාරි 27 සිට මාර්තු 24 දක්වා පැවති මානව හිමිකම් කමිටුවේ 137 වැනි සැසිය අතරතුර ශ්‍රී ලංකාවට අමතරව සමාලෝචනය කරන ලදී.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මැතිනිය සිය දේශනයේ ආරම්භයේ දී, ශ්‍රී ලංකාව 2019 වසරේ දී සිය 6 වැනි වාරික වාර්තාව ඉදිරිපත් කළ දින පටන් රට තුළ සැලකිය යුතු අන්දමේ වර්ධනයන් රැසක් සිදුව ඇති බව සඳහන් කළා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධන සිදු කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත් කිරීම, ස්වාධීන දේශීය යාන්ත්‍රණ හරහා ප්‍රතිසන්ධාන කටයුතු ක්‍රියාත්මක කිරීම, සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම, ප‍්‍රතිසන්ධානය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීම සහ උතුරේ සහ නැගෙනහිර ආරක්ෂක කටයුතු සඳහා හමුදාව යටතේ පැවති ඉඩම් නීත්‍යනුකූල හිමිකරුවන් සඳහා  නිදහස් කිරීම යනාදිය ඊට ඇතුළත් ය. සමාලෝචනයට ලක් වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආකාරයේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් බව සඳහන් කළ තානාපති අරුණතිලක මැතිනිය, පසුගිය වසර තුළ රජයේ ප්‍රධාන අරමුණ වූයේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය සමාජ-ආර්ථික අවශ්‍යතා සපුරාලීම බව පෙන්වා දුන්නා ය.

මානව හිමිකම් කමිටුවේ සභාපති ටානියා මරියා අබ්ඩෝ රොචෝල් මහත්මිය  සිය ආරම්භක දේශනය අතරතුර, ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ඉහළ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළා ය. අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, හමුදා භාරයේ පැවති පෞද්ගලික ඉඩම් නීත්‍යනුකූල සිවිල් හිමිකරුවන් සඳහා නිදහස් කිරීම සහ ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඇගයූ මානව හිමිකම් කමිටුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ හිංසනය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න ද සිය පැසසුමට ලක්  කළේ ය.

ශ්‍රී ලංකා දූත පිරිස සහ කමිටුව අතර පැවති අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවේ දී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන ව්‍යවස්ථාමය සහ නීතිමය රාමුව පිළිබඳ ගැටළු පුළුල් පරාසයක් ආවරණය වන ලෙස සාකච්ඡා පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, අධිකරණයේ ස්වාධීනත්වය, රැස්වීමේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ආගමික නිදහස, හදිසි අවස්ථා, LGBTI ප්‍රජාවට වෙනස් කොට සැලකීම, මාධ්‍යවේදීන්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් සහ සිවිල් සමාජය බිය ගැන්වීම සම්බන්ධයෙන් මතු වන චෝදනා ආදී කරුණු, කමිටුවේ සාමාජිකයන් විසින් නඟන ලද අනෙකුත් ප්‍රශ්නවලට ඇතුළත් විය. මෙම සමාලෝචනය අතරතුර  මානව හිමිකම් කමිටු සාමාජිකයන් යොමු කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වූ ශ්‍රී ලංකා දූත පිරිස, ඇතැම් ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු සැපයීමට ද කටයුතු කළහ.

සමාජ-ආර්ථික අභියෝග කිහිපයක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව විවෘතභාවයෙන් යුක්තව සහ ඵලදායී අයුරින් මෙම සමාලෝචනයට සහභාගී වූ බව තානාපති අරුණතිලක මැතිනිය සිය දේශනය අවසන් කරමින් අවධාරණය කළා ය.

ජනාධිපති ලේකම් කාර්යාලය, මහජන ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජිනීවා නුවර  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට භෞතික වශයෙන් සහභාගි වූ ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වූහ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), හානිපූර්ණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය (ONUR) නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සමාලෝචනය සඳහා කොළඹ සිට අතථ්‍ය අයුරින්  සම්බන්ධ වූහ.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

ජිනීවා

2023 මාර්තු 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close