විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් සමඟ යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් සමඟ යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි

 විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින කොළඹ සිටින යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස විදේශ අමාත්‍යාංශයේදී මුණ ගැසී, ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනය පිළිබඳව ඔවුන්ව දැනුවත් කළේය. එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සහ සංහිඳියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය ඇතුළු අඛණ්ඩ ක්‍රියාවලීන් පිළිබඳ අමාත්‍යවරයා විසින් තානාපතිවරුන් යාවත්කාලීනව දැනුවත් කරන ලදී.

මෙම හමුව අන්තර්ක්‍රියාකාරී හමුවක් වූ අතර එහිදී වෙළඳාම, ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව ඇතුළුව යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් ද පැවත්විණි. එමෙන්ම, 2021 ජනවාරි මස ශ්‍රී ලංකා-යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 23 වන රැස්වීම කැඳවීමෙන් අනතුරුව, නියමිත ශ්‍රී ලංකා-යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිෂන් සභා අනු කමිටු කැඳවීමට සැලසුම් කෙරේ. පශ්චාත් කෝවිඩ් 19 වාතාවරණය තුළ, ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ නිරෝධායනය සම්බන්ධ ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය කෙටුම්පත් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා, ඉතාලි තානාපතිනි රීටා මැනෙලා මහත්මිය, රුමේනියාවේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී තානාපති වික්ටර් චියුජ්ඩෙයා මහතා මෙන්ම, ජර්මනියේ, නෙදර්ලන්තයේ සහ යුරෝපා සංගමයේ දූත කාර්යාලවල නියෝජ්‍ය ප්‍රධානීන් ද සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අප්‍රේල් 10

Print Friendly, PDF & Email
Please follow and like us:

Close