ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ 6 වැනි වාරික සමාලෝචනය

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ 6 වැනි වාරික සමාලෝචනය

2023 මාර්තු 8 සහ 9 යන දිනවල ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ 6 වැනි වාරික සමාලෝචනය සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව 1980 ජුනි 11 වැනි දින සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සමඟ එක් විය. රටවල් 173ක් වර්තමානය වන විට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කර ඇත. මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අමතරව, එහි කමිටුව වෙත වරින් වර වාර්තා ඉදිරිපත් කිරීමටත්, වරින් වර පැවැත්වෙන සමාලෝචනවලට සහභාගී වීමටත්, සම්මුතියේ සියලුම රාජ්‍ය පාර්ශ්වයන්  ස්වේච්ඡාවෙන් බැඳි සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාව 1983, 1990, 1994, 2003 සහ 2013 යන වර්ෂවලදී වාරික වාර්තා 5ක් ඉදිරිපත් කර ඇති අතර 1983, 1991, 1995, 2003 සහ 2014 යන වර්ෂවලදී සමාලෝචන 5කට සහභාගි වී ඇත.

ශ්‍රී ලංකාවේ 6 වැනි වාර්තාව 2019 පෙබරවාරි 22 වැනි දින මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී. මානව හිමිකම් කමිටුව යනු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධීක්ෂණය කරන ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකි. සියලුම රටවල සමාලෝචන මෙම කමිටුව විසින් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ 6 වැනි සමාලෝචනය ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි දෙමුහුන් ආකෘතියක් යටතේ පැවැත්වීමට නියමිත අතර, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලී අරුණතිලක මැතිනිය ශ්‍රී ලංකා පාර්ශ්වය සඳහා නායකත්වය ලබා දෙනු ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය, මහජන ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජිනීවා නුවර  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට භෞතික වශයෙන් සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වෙති. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), හානිපූර්ණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය (ONUR) නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සමාලෝචනය සඳහා කොළඹ සිට අතථ්‍ය අයුරින්  සම්බන්ධ වනු ඇත.

ඊජිප්තුව, ටර්ක්මෙනිස්තානය, සැම්බියාව, පේරු සහ පැනමාව යන රාජ්‍යයන් ද , 2023 පෙබරවාරි 27 සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන මානව හිමිකම් කමිටුවේ 137 වැනි සැසිය අතරතුර ශ්‍රී ලංකාවට අමතරව සමාලෝචනය කිරීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 06 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close