විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 නව වසර සඳහා පැවැත්වූ ප්‍රථම සාකච්ඡාව 2023 ජනවාරි 10 වැනි දින අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී.

සමාජ-ආර්ථික ස්ථායීකරණය, ප්‍රතිසන්ධානය සහ ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීමේ වසරක් ලෙස ශ්‍රී ලංකාව 2023 වසර හඳුනාගෙන ඇති බව අමාත්‍ය සබ්රි මැතිතුමා ආරම්භයේ දී සඳහන් කළ අතර, ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීම සම්බන්ධයෙන් මෙරට සාක්ෂාත් කරගත් ප්‍රගතිය ආශ්‍රිත අදාළ ක්ෂේත්‍ර මෙන්ම ජනතාවට ඉහළ ස්ථාවරත්වයක් ලබාගැනීම සඳහා අභියෝග මධ්‍යයේ වුවද ක්‍රියාත්මක කරන ලද මුලපිරීම් පිළිබඳව  අවධාරණය කළේ ය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මැතිතුමා, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එච්. ඩබ්. ඒ. කුමාරසිරි මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

පසුගිය මාස කිහිපය තුළ, ප්‍රතිසන්ධාන කටයුතුවලට අදාළව රජය විසින් ගනු ලැබූ ප්‍රධාන ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය සබ්රි මැතිතුමා විසින් යාවත්කාලීන කරන ලදී. 2022 දෙසැම්බර් මස ජනාධිපතිවරයා විසින් සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පවත්වන ලද සර්ව පාක්ෂික සමුළුව, ප්‍රතිසන්ධානය පිළිබඳ කැබිනට් අනු කමිටුවේ ක්‍රියාකාරීත්වය සහ උතුරු පළාතේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ විශේෂ ඒකකයක් පිහිටුවීම ආදිය ඊට ඇතුළත් විය. සත්‍යය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණයක් පිහිටුවීමට සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු පිළිබඳ කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය දැඩි පරිශ්‍රමයක් දැරූ බවද එතුමා  මෙහිදී පෙන්වා දුන්නේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි පුළුල් නීති කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය,දූෂණ විරෝධී නීතිය පිළිබඳව යාවත්කාලීන කිරීම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), පුද්ගලයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය (ONUR) ඇතුළුව, අධිකරණ අමාත්‍යංශයේ විෂය පථයට අයත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අදාළ කරුණුවල ප්‍රගතිය අධිකරණ අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.

2023 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පැමිණීම් ප්‍රමාණය ඉහළ නැංවීම දිරිමත්  කිරීම සඳහා සංචාරකයන් සඳහා අත්‍යවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇති බව සංචාරක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය. ඉන්ධන ලබාගැනීම සඳහා නිකුත් කරන ලද බලපත්‍ර ලබාදීම හරහා විදේශීය සංචාරකයන්ට ඉන්ධන සැපයීම සහතික කිරීම සහ  හඳුනාගත් සංචාරක කලාප තුළ විදුලිය කප්පාදු නොකිරීම ආදී පියවර ඊට ඇතුළත් ය. විශේෂයෙන්ම සංචාරක උපදේශන සංශෝධනය කිරීමේ දී මෙරට වත්මන් තත්ත්වය පිළිබිඹු වන අයුරින් කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා අනෙකුත් රටවල් දිරිමත් කළේ ය.

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය සහ අපේක්ෂිත ඉදිරි ගමන පිළිබඳ ඉදිරිපත් කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් සිදු කරන ලදී. මෙරට අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ක්‍රියාත්මක කරන ලද සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව කෙටි විස්තර කිරීමක් ජාතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරන ලදී.

මානව හිමිකම් කවුන්සිලයේ ස්වේච්ඡා සමාලෝචන ක්‍රියාවලියක් වන විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වන චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සිය ජාතික වාර්තාව ඉදිරිපත් කර ඇති බව විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය ප්‍රකාශ කළා ය. ජාතික වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලියේ දී රජය සිවිල් සමාජ සංවිධාන ඇතුළු දේශීය පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් පුළුල් උපදේශන ලබා ගත් බව අවධාරණය කළ  ලේකම් විජේවර්ධන මහත්මිය, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් සමඟ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගය පවත්වා ගනිමින් සාධනීය අයුරින් ඵලදායී සංවාදයක නිරත වීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා ය.

මෙම ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව පැවති සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයෝ, මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව සිදු කළ මෙම ඵලදායී සහ ප්‍රයෝජනවත් දැනුම්වත් කිරීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, ප්‍රකෘතිමත්භාවය සහ ස්ථාවරභාවය  ළඟා කරගැනීම සඳහා ගෙන ඇති පියවර ද අගය කළහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජනවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close