ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට සම්බාධක පැනවීමට කැනඩාව ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව කනගාටුව පළ කරයි

 ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට සම්බාධක පැනවීමට කැනඩාව ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව කනගාටුව පළ කරයි

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සඳහා සම්බාධක පැනවීමට 2023 ජනවාරි 10 වැනි දින, දේශපාලනික පෙළඹවීම් මත කැනඩාව ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය බලවත් කනගාටුව පළ කර සිටියි. කැනඩාවේ දේශපාලන පාර්ශ්ව එල්ල කරන බලපෑම් මත කැනේඩියානු රජය ගත් මෙම ඒකමතික ක්‍රියාමාර්ගය භයානක පූර්වාදර්ශයක් සපයන අතර, විශේෂයෙන්ම එය ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය අතිශයින් වැදගත් වන මොහොතක ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන්ට  හානි එල්ල කරයි. ගෝලීය වශයෙන් ගත් කල  මෙවැනි ක්‍රියා, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර, පදනම් විරහිත චෝදනා මත පමණක් පදනම්ව ගන්නා අත්තනෝමතික බාහිර තීරණවලට ස්වෛරී රාජ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයන් ගොදුරු කරගනී. අයිතිවාසිකම් ආරක්ෂා කරනු ලබන බවට ප්‍රකාශ කරන කැනඩාව විසින් එම අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන අවස්ථාවක් ලෙස මෙම ක්‍රියාව හැඳින්විය හැකි ය.

පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික අර්බුදය හේතුවෙන් එල්ල වී ඇති බහුවිධ අභියෝගවලට විසඳුම් සොයන අතරතුර, ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ ස්ථාවරත්වය ළඟා කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සාමූහික ප්‍රයත්නයන් දරමින් සිටින මෙවැනි අවස්ථාවක කැනේඩියානු බලධාරීන් සිදු කළ මෙම නිවේදනය කනගාටුවට කරුණකි.

වගවීම සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ගැටළුවලට විසඳුම් සෙවීම සහ මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රජය විසින් ලබා ඇති ප්‍රත්‍යක්ෂ සහ අර්ථවත් ප්‍රගතිය මධ්‍යයේ මෙම නිවේදනය නිකුත් කොට ඇත. ශ්‍රී ලංකාව විසින් මෙලෙස ගෙන ඇති ප්‍රගතිශීලී පියවර ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමට හා ප්‍රසාදයට පාත්‍ර වී ඇත. ජනවාර්ගික ගැටළුව විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව; උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම්, රැඳවියන් සහ අතුරුදන් වූවන් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකමිටුව; ශ්‍රී ලාංකික උරුමයක් සහිත විදෙස්ගත ප්‍රජාවන් ඵලදායී ලෙස සම්බන්ධ කරගැනීම සඳහා ස්ථාපිත විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු පිළිබඳ කාර්යාලය සහ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනාදිය මෙලෙස ගනු ලැබූ පියවර අතර කැපී පෙනෙන පියවරවලට අයත් වේ.

කැනඩාව ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික සහ සංවර්ධන හවුල්කරුවෙකි. එනමුදු, ද්විපාර්ශ්වික අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා පවතින සුපුරුදු ක්‍රමවේද නොසලකා හරිමින් කැනේඩියානු බලධාරීන් මෙම තීරණය සන්නිවේදනය කිරීම සඳහා යොදාගත්  ක්‍රමය, ස්ථාපිත රාජ්‍යතාන්ත්‍රික භාවිතයන්ට පටහැනි වන බැවින් එය කනගාටුවට කරුණකි.

පුද්ගලාන්තර සබඳතා පැවැත්වීම සහ මෙරට සමාජ-ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සාධනීය ලෙස කටයුතු කිරීමට දායක වන ශ්‍රී ලාංකික උරුමයක් සහිත ප්‍රජාවකගේ නිවහන බවට  කැනඩාව පත්ව ඇත. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් සහ ඔවුන්ගේ මව්රට අතර හරවත් වූත් විවිධත්වයෙන් යුක්ත වූත් සබඳතාවක් පවතී. මෙම ප්‍රජාවෙන් බහුතරයක් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන අතර බොහෝ දෙනෙක් කැනේඩියානු-ශ්‍රී ලංකා ද්විත්ත්ව පුරවැසිභාවයට හිමිකම් කියති. ඉහත සඳහන් කරුණු දෙරට අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වූත් විචිත්‍ර වූත් හවුල්කාරිත්වය පිළිබඳව සාක්ෂි දරයි.

කැනේඩියානු රජයේ මෙම ක්‍රියාව තුළින් ප්‍රජාවන් ධ්‍රැවීකරණයට ලක්විය හැකි අතර, සමාජ-ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලීන් කෙරෙහි අහිතකර බලපෑමක් එමඟින් එල්ල විය හැකි ය. එය අවාසනාවන්ත තත්ත්වයකි. 75 වැනි නිදහස් සංවත්සරය අභියස සිටින ශ්‍රී ලංකාව, එවැනි අභියෝග මධ්‍යයේ වුවද, ජාතික සමගිය සහ සංහිඳියාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අඛණ්ඩ ප්‍රගතියක් ළඟා කරගැනීමට කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව කැනඩාව සමඟ පවත්වන බහුවිධ සබඳතා සැලකිල්ලට ගනිමින්, මෙම තීරණය සමාලෝචනය කරන ලෙසත්, දෙරටේ  මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පුළුල්, ක්‍රියාශීලී සහ නිර්මාණාත්මක ප්‍රවේශයක් කරා ගෙන යන ලෙසත් ශ්‍රී ලංකාව  කැනේඩියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජනවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close