ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ අඛණ්ඩ සමීප හා සුහද සබඳතා පැවැත්වීම යෝග්‍ය සහ ඵලදායී විය හැකිය

ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ අඛණ්ඩ සමීප හා සුහද සබඳතා පැවැත්වීම යෝග්‍ය සහ ඵලදායී විය හැකිය

එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අඟහරුවාදා (28) දින කොළඹ දී හමු වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, විවෘත හා පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය. මෙම හමුවේ දී අමාත්‍ය පීරිස් මැතිතුමා සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය දෙරට අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කළහ.

නිව්යෝර්ක් හි පැවති 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී, එක්සත් රාජධානියේ දකුණු ආසියාව, එක්සත් ජාතීන් සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා සමඟ පෙර පැවති සන්නිවේදනයන්හි පසු විපරමක් ලෙස, මෑතක දී සිදු කළ සුහදශීලී හමුව පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සම්බන්ධ කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ සමකාලීන ප්‍රවණතා පිළිබඳ වඩාත් යථාර්ථවාදී අවබෝධයක් ජනනය කිරීම සඳහා අහමඩ් සාමිවරයාගේ මුලපිරීම් පිළිබඳ සන්දර්භය තුළ මෙම සංවාදය වැදගත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. පසුව 2021 දී එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍යවරයාගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරයකින් මෙය තවදුරටත් වැඩිදියුණු කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ දේශීය සංහිඳියා පියවරයන් පෝෂණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වූ මෑත කාලීන මුලපිරීම් ඇතුළුව අනාගත ශ්‍රී ලංකා - එක්සත් රාජධානි ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි බලපාන ප්‍රධාන අංශ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. ජාතික සමගිය හා සංහිඳියාව, අතුරුදහන් වූවන්, වගවීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල කටයුතු මේවාට ඇතුළත් විය. මහ කොමසාරිස් හල්ටන් මැතිනිය ද වර්තමානයේ දී උනන්දුව සහ අවධානය යොමු වී ඇති ඇතැම් ඉහළ පෙළේ ශ්‍රී ලාංකික සිද්ධීන් සම්බන්ධව අවධානය යොමු කළාය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ සන්දර්භය තුළ මෙම සමහරක් කරුණු පිළිබඳව අවධානය යොමු විය.

අමාත්‍ය පීරිස් මැතිතුමා සහ මහ කොමසාරිස් හල්ටන් මැතිනිය, විශේෂයෙන් වරාය නගර සංවර්ධනයේ නව අවස්ථා ඇතුළුව, එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා වෙළෙඳ සහ ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සහ ඒ හා සම්බන්ධ ගැටලු පිළිබඳව ද සඳහන් කෙරිණි.

සාකච්ඡාවේ දී, එක්සත් රාජධානියේ එළඹෙන COP 26 සමුළුවට සහභාගී වීමේ පුළුල් සන්දර්භය තුළ ගෝලීය පාරිසරික මූලාරම්භයන්ට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ධනාත්මක කැපවීම් සහ මෙම ක්ෂේත්‍රය තුළ එහි අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

දෙරට අතර පවතින සමීප, දිගු කාලීන, ඓතිහාසික වැදගත්කමකින් යුත්, කල්පවතින සබඳතාව අගය කරන බව ප්‍රකාශ කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, මෙම සාර්‍ථක හා ඵලදායි හවුල්කාරිත්වය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

29 සැප්තැම්බර්, 2021

Print Friendly, PDF & Email
Please follow and like us:

Close