ඩකා නුවර දී ශ්‍රී ලංකාවේ වෙළඳ, සංචාරක සහ ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කෙරේ

ඩකා නුවර දී ශ්‍රී ලංකාවේ වෙළඳ, සංචාරක සහ ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කෙරේ

ඩකා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව සහ සංගම් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ වෙළඳ, ආයෝජන සහ සංචාරක අවස්ථා ප්‍රදර්ශනය කිරීම සඳහා 2023 මාර්තු 07 වැනි දින ඩකා ෂෙරාටන්හි දී සන්ධ්‍යා උත්සවයක් සංවිධානය කළේ ය. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද මෙම උත්සවයට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සමාගම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ බංග්ලාදේශයේ සංචාරක නියෝජිතයින් පිරිසක් සහභාගී විය. බංග්ලාදේශයේ සිවිල් ගුවන් සේවා සහ සංචාරක රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් මහබුබ් අලි මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඊට සහභාගී විය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම පෙන්වා දෙමින් පැමිණ සිටි පිරිස ඇමතූ මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා,ශ්‍රී ලංකාවේ පවතින අවස්ථා ගවේෂණය කරන ලෙස බංග්ලාදේශයේ සමාගම් ක්ෂේත්‍රයට ආරාධනා කළේ ය. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කරමින් 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිය අදහස් පළ කළ ප්‍රධාන ආරාධිත අමුත්තා වන සිවිල් ගුවන් සේවා සහ සංචාරක රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් මහබුබ් අලි මැතිතුමා, ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා බංග්ලාදේශයේ සහය ලබා දෙන බව සහතික කළේ ය.

චන්න උපුලි රංග කලා පදනම විසින් සම්ප්‍රදායික සංස්කෘතික නර්තන අංග ඉදිරිපත් කරන ලද අතර සංස්කෘතිය හා විවිධත්වය, සංචාරක කර්මාන්තය, වෙළඳාම සහ ආයෝජන පිළිබඳ හැඳින්වීම් ඇතුළත් වීඩියෝ ඉදිරිපත් කිරීම් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

සම්ප්‍රදායික ප්‍රණීත ආහාර සහ රසකැවිලි ඇතුළු විවිධ ශ්‍රී ලාංකික ආහාර වර්ග රැසක් මෙහිදී හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකාවේ ආයතනික සංවිධාන, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංගමය (SLAB), ශ්‍රී ලංකා බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SLBCCI) යන ආයතනවල අනුග්‍රහය සහ ඩකා නුවර සිටින ශ්‍රී ලාංකික හිතෛශීන්ගේ සහයෝගය ඇතිව මෙම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2023 මාර්තු 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close