සිසිලි දූපතේ කතානියාහි දී පවත්වන ලද ජංගම කොන්සියුලර් සේවය

සිසිලි දූපතේ කතානියාහි දී පවත්වන ලද ජංගම කොන්සියුලර් සේවය

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිසිලි දූපත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට කොන්සියුලර් සේවා සැපයීම සඳහා 2023 ජනවාරි 21 සහ 22 යන දිනවල සිසිලි දූපතේ කතානියාහි දී සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් පැවැත්වී ය.

නව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම, විදේශ ගමන් බලපත්‍ර අනුමත කිරීම, උප්පැන්න ලියාපදිංචි කිරීම, පුරවැසි සහතික ලබාගැනීම, ඇටෝර්නි සහතික පත්‍ර ලබාගැනීම, මෙරට ලේඛන පරිවර්තනය කිරීම ආදී කොන්සියුලර් සේවාවන් ලබාගැනීමේ අරමුණ සහිත ශ්‍රී ලාංකිකයන් 550 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගි වූහ.

දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී සහ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක සමඟ මෙම අවස්ථාවට සහභාගි වූ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා, මෙම ජංගම කොන්සියුලර් සේවය අතරතුර, සිසිලියේ ප්‍රධාන නගර ත්‍රිත්වය වන කතානියා, මෙසීනා සහ පලේර්මෝ හි පළාත් පාලන බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වී ය.

තානාපතිවරයා ජනවාරි 20 වැනි දින කතානියා මහ නගර සභාවේ අතිවිශේෂ නියෝජ්‍ය කොමසාරිස් බර්නාඩෝ කැම්පෝ, මෙසීනා හි ප්‍රධානී කොසිමා ඩි ස්තානි, පොලිස් ප්‍රධානී (පොලිස් මූලස්ථානය) ගේබ්‍රියෙලා ඉයෝප්පෝලෝ සහ මෙසීනා හි නගරාධිපති ෆෙඩරිකෝ බැසිල් යන මහත්ම මහත්මීහු හමුවිය. තානාපතිවරයා ජනවාරි 21 වැනි දින කතානියා පළාතේ ප්‍රධානී මරියා කාර්න්මෙලා ලිබ්‍රිසි සහ කතානියා හි පොලිස් ප්‍රධානී (පොලිස් මූලස්ථානය) විටෝ කැල්විනෝ යන මහත්ම මහත්මීහු හමුවිය. දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සිසිලි දූපතේ සමාජීය, ශ්‍රමික සහ සංස්කෘතික ව්‍යුහය සමඟ මැනවින් සම්බන්ධ වී ඇති බව ඉතාලි බලධාරීහු මෙම රැස්වීම් අතරතුර ප්‍රකාශ කළහ. සිසිලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රම හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සහයෝගිතාව පැවැත්වීමේ වැදගත්කම තානාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකා දූත පිරිස 2023 ජනවාරි 23 වැනි දින පලේර්මෝ වෙත පැමිණිය හ. මෙම දූපත් නගරය වෙත ශ්‍රී ලංකා තානාපතිවරයකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය විය. තානාපතිවරයා එහිදී පලේර්මෝ හි නගරාධිපති වන මහාචාර්ය රොබර්ටෝ ලගාල්ලා, පොලිස් ප්‍රධානී (පොලිස් මූලස්ථානය) ලියෝපෝල්ඩෝ ලැරිචියා සහ පලේර්මෝ හි ප්‍රධානී මරියා තෙරේසා කුචිනෝටා යන මහත්ම මහත්මීහු හමුවිය. තානාපතිවරයා එම රැස්වීම් අතරතුර නීතිවිරෝධී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ ගැටලු සහ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ යහපැවැත්ම පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.තවද සහෝදර නගර වැඩසටහන්, සංචාරක ප්‍රවර්ධන කටයුතු මෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද තානාපති වැල්ලවත්ත මැතිතුමා විසින් යෝජනා ඉදිරිපත් කරන ලදී.පලේර්මෝ නගරයේ නව පරපුරට ශ්‍රී ලාංකික සංස්කෘතිය අධ්‍යයනය කිරීම සඳහා ඉවහල් වන සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් පලේර්මෝ මහ නගර සභාව සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමේ හැකියාව පිළිබඳ යෝජනාවක් ද තානාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

සිසිලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහය වීම සඳහා පොදු ව්‍යාපෘති හඳුනාගැනීමේ අරමුණින් පැවැත්වූ ඵලදායි සංවාද සහ අදහස් හුවමාරුව සම්බන්ධයෙන් ද තානාපතිවරයා ඉතාලි බලධාරීන් වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෝමය

2023 පෙබරවාරි 02 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close