ශ්‍රී ලංකාව තායිලන්තයේ පැවති OTOP City-2022 ප්‍රදර්ශනය සඳහා ප්‍රථම වරට සහභාගී වේ

ශ්‍රී ලංකාව තායිලන්තයේ පැවති OTOP City-2022 ප්‍රදර්ශනය සඳහා ප්‍රථම වරට සහභාගී වේ

බැන්කොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය තායිලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ උපදේශනයෙන්, ජාතික ශිල්ප සභාවේ, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහ හස්ත කර්මාන්ත මණ්ඩලයේ ශ්‍රී ලාංකික නිෂ්පාදන, 2022 දෙසැම්බර් 17-25 යන දිනවල තායිලන්තයේ නොන්තබුරි හි IMPACT ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ පැවති "OTOP City-2022" ප්‍රදර්ශනය තුළ ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමට සහ අලෙවි කිරීමට කටයුතු සූදානම් කළේ ය.

"OTOP City-2022" ප්‍රදර්ශනය, තායිලන්තයේ One Tabon One Product (OTOP) සංකල්පය යටතේ නිෂ්පාදිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, ප්‍රදර්ශනය කිරීම සහ විකිණීම යන අරමුණු සහිතව, "ප්‍රඥාව තුළින් ආනන්දය ලබා දීම, තායි ජනතාවගේ ශිල්පීය වටිනාකම විදහා දැක්වීම” යන සංකල්පය යටතේ සංවිධානය කෙරිණි. තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා මෙම උත්සවය ආරම්භ කළ අතර 200,000කට අධික නරඹන්නන් පිරිසක් ඊට පැමිණිය හ. තවද, ව්‍යවසායකයන් 2,700 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.

ප්‍රමාණවත් ආර්ථික දර්ශනය නමැති ප්‍රතිපත්තිය යටතේ, තායිලන්තය සිය One Tambon One Product (OTOP) නමැති සංකල්පය “One Village One Product (OVOP)” නමින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. තායිලන්ත ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (TICA) විසින් ඊට අරමුදල් සපයනු ලැබේ. අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා 2018 වසරේ දී සිදු කළ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙපාර්ශ්වයම ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩසටහනකට අවතීර්ණ වී ඇත.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මැතිතුමා ශ්‍රී ලාංකික නිෂ්පාදන පිළිබඳව පැහැදුණේ ය.  තවද, මෙම කුටිය සාමාන්‍ය ජනතාව බොහෝ පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් විය.

මෙම අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන) ඒ.ලක්කතාස් සහ ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් එරහපොළ යන මහත්වරුන්ට තායිලන්තයේ විවිධ ප්‍රදේශවල සිටින OTOP වෙළෙඳුන් දස දෙනෙකු සමඟ අතථ්‍ය අයුරින් හමුවීමට ද දූත මණ්ඩලය විසින් කටයුතු සලසන ලදී. තායිලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම රැස්වීමට සහභාගී වූහ.

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය  යොමු කළ ඉල්ලීමකට අනුව ශ්‍රි ලංකාව වෙනුවෙන් ලබා දුන් මෙම සුවිශේෂී අවස්ථාව සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ  නිත්‍ය නියෝජ්‍ය ලේකම් සොම්කිඩ් චන්තමාරුක් මහතා සහ ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් උන්සිට් සම්පුන්තරාට් මහතා වෙත  සිය ස්තුතිය පුද කළා ය. දූත මණ්ඩලයේ ප්‍රථම ලේකම්/ චාන්සරි ප්‍රධානී ඒ. ඩබ්ලිව්. එස්. සමන්මලී මහත්මිය සහ ප්‍රථම ලේකම් (වාණිජ්‍ය), විරේෂිකා බණ්ඩාර මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 දෙසැම්බර් 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close