තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති ගුර්සෙල් බරන් මහතා, අන්කාරා කර්මාන්ත මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් සන්කාර් සෙෆර් සූඑර් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෑතක දී අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ මූලස්ථානයේ දී මෙම හමුව පැවැත්වී ය.  සාමාජිකයින් 160,000 කට අධික සංඛ්‍යාවක් සහ විවිධ අංශ ආවරණය වන වෘත්තීය කමිටු 68 ක් අන්කාරා වාණිජ්‍ය මණ්ඩලය සතුව පවතී.

මෑතක දී තුර්කියේ හටගත් භූ කම්පනයෙන් විපතට පත් වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කළ තානාපතිනිය, ශ්‍රී ලංකා රජය සහ ජනතාව තුර්කිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළා ය. මෙම ව්‍යසනය හමුවේ තානාපති කාර්යාලය විසින් ගනු ලැබූ ක්ෂණික ක්‍රියාමාර්ග සහ පියවර මෙන්ම ශ්‍රී ලංකා රජය සහ තුර්කියේ සිටින ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරුන් විසින් සපයන ලද දායකත්වය පිළිබඳව ද එතුමිය මෙහිදී විස්තර කළා ය. අන්කාරා හි විදේශ කටයුතු අමාත්‍යංශයේ ආශිර්වාදය සහිතව, අන්කාරා හි රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහභාගි කරගනිමින් අරමුදල් රැස්කිරීමේ මුලපිරීමක් මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිදු කළ කාර්යභාරය අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති බරන් මැතිතුමාගේ පැසසුමට ලක්විය. එම මූල්‍ය පරිත්‍යාගය තුර්කියේ ආපදා හා හදිසි කළමනාකරණ ආයතනය (AFAD) වෙත පිරිනමන ලදී. තවද, තුර්කිය වෙත ලබා දුන් දායකත්වය සහ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා තානාපතිවරයාට සිය කෘතඥතාව පළ කර සිටින බවද එතුමා සඳහන් කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය, 2023 මාර්තු 20 වැනි දින විස්තීරණ ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න මුදලක් මාස 48 ක කාලයක් සඳහා මෙරටට අනුමත කළ බවද තානාපතිනිය මෙහිදී සඳහන් කළා ය. එය ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ඉවහල් වන ප්‍රධාන පියවරක් ලෙස සැලකේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ අවධානය යොමු වන අංශ පිළිබඳව ද එතුමිය තවදුරටත් විස්තර කළා ය.

අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා මීට වසර කිහිපයකට පෙර ලංකා වාණිජ මණ්ඩලය සමඟ මාර්ගගත අයුරින් පැවැත්වූ හමුවක් පිළිබඳව මෙන්ම දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් පිළිබඳව ද සිහිපත් කළේ ය.  ආර්ථික සහයෝගිතාව සඳහා බොහෝ විභවයන් පවතින බව සඳහන් කළ එතුමා, දෙරට අතර සහයෝගිතාව කඩිනම් කිරීම සඳහා තුර්කිය සූදානමින් සිටින බව ප්‍රකාශ කළේ ය. එම යෝජනාව පිළිගත් තානාපතිනිය, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 75 ක් සපිරීම සංවත්සරය 2023 සැමරීමට නියමිත බැවින්, 2023 වසරේ 3 වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වාණිජ්‍ය මණ්ඩලයේ නියෝජිත පිරිසකට ආරාධනා කළා ය.

වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සහයෝගිතාව පැවැත්විය හැකි විභව ක්ෂේත්‍ර සහ ශ්‍රී ලංකාව සතු විවිධ වෙළඳ විධිවිධාන හරහා තුර්කි සමාගම්වලට ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද එතුමිය මෙහිදී විස්තර කළා ය. නිෂ්පාදන කර්මාන්ත සඳහා ශ්‍රී ලංකාවේ පවතින අමුද්‍රව්‍ය පිළිබඳව මෙන්ම ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව, ද්විත්ත්ව බදු පැනවීමෙන් වැළකීම සහ ඵලදායි ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කරන ආකාරයේ රේගු කරුණු සම්බන්ධයෙන් නුදුරු අනාගතයේ දී නිම කිරීමට බලාපොරොත්තු වන නීතිමය උපකරණ පිළිබඳව ද තානාපතිනිය වැඩිදුරටත් අවධාරණය කළා ය. මිනිරන්, ඉල්මනයිට්, රූටයිල් සහ කිරිමැටි වැනි අගය එකතු කළ හැකි ඉහළ වටිනාකමකින් යුත් උසස් තත්ත්වයේ ඛනිජ වර්ග රැසකට අමතරව පුනර්ජනනීය බලශක්තිය සහ සත්කාරක කර්මාන්තය යන ක්ෂේත්‍ර තුළ පවතින අවස්ථා ද එතුමිය විසින් ඉස්මතු කරන ලදී. ශ්‍රී ලංකාව සහස්‍ර දෙකකට අධික කාලයක් මුළුල්ලේ මැණික් නිෂ්පාදනය කරන සහ මැණික් වෙළඳාම සිදු කරන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචලිතව ඇති බවත්, ශ්‍රී ලංකාවේ නිල් මැණික් ඉහළ ප්‍රසිද්ධියක් උසුලන බවත් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය. වරාය නගරයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කළු ගම්මිරිස් සහ ලංකා කුරුඳු වැනි කුළුබඩු සඳහා ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් මුළුල්ලේ ප්‍රසිද්ධිය උසුලන බවද එතුමිය මෙහිදී සඳහන් කළා ය. එය අන් කුරුඳු ප්‍රභේදවලට වඩා  පැණි රසකින් යුක්ත  වන අතර, එය සතු අවම කූමරින් මට්ටම හේතුවෙන් වෙළඳපොළේ  ඇති අනෙකුත් කුරුඳු වර්ග අතර අද්විතීය මෙන්ම වඩාත් සෞඛ්‍ය සම්පන්න කුරුඳු විශේෂයක් බවට පත්ව ඇත. තවද  GI සහතිකය ද ඊට හිමිව ඇත.

තවද, තුර්කියේ දේශීය තේ නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අගය එකතු කළ තේ සඳහා ඉහළ බදු පැනවීම හේතුවෙන්  තුර්කිය වෙත අපනයනය කරනු ලබන සුඛෝපභෝගී අගය එකතු කළ තේ සඳහා දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද තානාපති දිසානායක මැතිනිය අවධාරණය කළා ය. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් වෙළඳ පරිමාව, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා වර්ධනය කළ හැකි ආර්ථික සහයෝගිතාව සඳහා පවතින විභව ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් සාකච්ඡා ද පැවැත්විණි. සහයෝගිතාව  පැවැත්විය හැකි නිශ්චිත අංශ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වීමෙන් අනතුරුව සහ  2023 ඔක්තෝම්බර් මස තුර්කි ජනරජයේ 100 වැනි සංවත්සරය කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලය සමඟ එක්ව සැමරීමට නියමිත බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාවට නියෝජිත පිරිසක් එවීම පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව නිමාවට පත් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 මාර්තු 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close