ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය "Destination Sri Lanka in Nowruz Season-2023" නමින් සංචාරක ව්‍යාපාරය සඳහා පහසුකම් සැලසීමේ උත්සවයක් සංවිධානය කරයි

 ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “Destination Sri Lanka in Nowruz Season-2023” නමින් සංචාරක ව්‍යාපාරය සඳහා පහසුකම් සැලසීමේ උත්සවයක් සංවිධානය කරයි

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතන සංගමය, අසාද් ජාත්‍යන්තර සංචාරක සංවිධානය සහ ඉරානයේ එයාර් ඇරබියා ඉරාන කාර්යාලය සමඟ එක්ව “Destination Sri Lanka in Nowruz Season (Persian New year) නමින් වූ සංචාරක ව්‍යාපාරය සඳහා පහසුකම් සැලසීමේ උත්සවයක් 2023 ජනවාරි 23 වැනි දින ටෙහෙරානයේ පිහිටි චාන්සරි පරිශ්‍රයේ දී පැවැත්වී ය. ඉරාන සංචාරක කර්මාන්තය, ගුවන් සේවා, ජන මාධ්‍ය සහ අනෙකුත් අංශ නියෝජනය කළ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.2023 මාර්තු මාසයේ දී සමරනු ලබන පර්සියානු අලුත් අවුරුදු සමයේ දී ඉරානයේ සිට ශ්‍රී ලංකාව සඳහා සංචාරකයන් බොහෝ පිරිසක් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ  අපේක්ෂාව විය.

සහභාගි වූ පිරිස පිළිගත් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපෝන්සු මැතිතුමා මෙරට ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා සංචාරක ව්‍යාපාරය සතු වැදගත්කම පිළිබඳව සඳහන්  කළේ ය. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් දෙරට අතර මනාව ස්ථාපිත වී ඇති සබඳතා ඔස්සේ දෙරටටම ප්‍රතිලාභ ලබා ගත හැකි බව පෙන්වා දුන් එතුමා, ඉරානයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් එවීම සඳහා කටයුතු කරන ලෙස නියෝජිතයන් සහ අදාළ අනෙකුත් පාර්ශ්වවලින් ඉල්ලා සිටියේ ය.

 “ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය” පිළිබඳව තානාපති කාර්යාලය විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව එයාර් ඇරබියා හි කළමනාකරු වන අශ්කන් ශහ්සවාරි මහතා රැස්ව සිටි පිරිස ඇමතූ අතර, 2023 වසරේ මාර්තු මාසයේ දී ටෙහෙරානයේ සිට කොළඹ දක්වා අමතර ගුවන් ගමන් ආරම්භ කරන බව ප්‍රකාශ කළේ ය. තවද, ශ්‍රී ලංකාව වෙත සිදු කරනු ලබන සංචාර සඳහා සහය වන ලෙස ඉරානයේ සියලුම සංචාරක සහ සංචාරක ගමන් පිළිබඳ නියෝජිතයන්ට ආරාධනා කළ එතුමා, ඒ සඳහා එයාර් ඇරබියා හි පූර්ණ සහය ලබා දෙන බව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ සංචාරක සහ සංචාරක ගමන් පිළිබඳ ක්‍රියාකරුවන් නියෝජනය කළ කණිෂ්ක මහගෙදර මහතා, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින සබඳතා  පුළුල් කිරීම පිළිබඳ දේශනයක් පැවැත්වී ය.

ඉරානයේ ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතන සංගමය නියෝජනය කළ ගලිවර් ට්‍රැවල් ඒජන්සි හි කළමනාකාර අධ්‍යක්ෂ ෆරිබොයිස් සයීඩි මහතා, නිරන්තරයෙන් ඉරානය තුළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය පුද කළ අතර ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

මෙම උත්සවය සංග්‍රහයකින් අවසන් වූ අතර පැමිණ සිටි අමුත්තන්ට ත්‍යාග ද පිරිනැමිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

 

2023 ජනවාරි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close