නම් කළ තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ විදේශ කටයුතු සහ විගමන කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

නම් කළ තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ විදේශ කටයුතු සහ විගමන කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ලෙබනනය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා 2023 පෙබරවාරි 1 වැනි දින ලෙබනනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ලෙබනනයේ විදේශ කටයුතු සහ විගමන කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් මැතිතුමා හමුවිය.

නම් කළ  තානාපති ජයවීර මැතිතුමා, ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමාගේ සහ ශ්‍රී ලංකා රජයේ සුබ පැතුම් ලෙබනනයේ රජයට සහ එහි ජනතාවට පිරිනැමූ අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සතු ඔරොත්තු දීමේ හැකියාව සහ ජාත්‍යන්තර සංසද හමුවේ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය හවුල්කාරිත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය. දශක කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන්ට ලෙබනනය තුළ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳව ද එතුමා ලෙබනන රජය වෙත සිය ස්තූතිය පුද කළේ ය.

නම් කළ තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ලෙබනනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජයට සහ එහි ජනතාවට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය. තවද, ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙබනනයට ලබා දෙන දායකත්වය අගය කළ එතුමා, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ද සුබ පැතුම් පිරිනැමී ය.

මෙම හමුවෙන් අනතුරුව, ලෙබනනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මහලේකම් තානාපති හනි ෂෙමයිටෙලි මහතා හමු වූ නම් කළ තානාපති ජයවීර මැතිතුමා, ද්විපාර්ශ්වික වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර පවතින මිත්‍ර සබඳතා අගය කළ මහලේකම්වරයා, දෙරට අතර පවත්නා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කැපවන බවට සහතික විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2023 පෙබරවාරි 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close