ජර්මනිය සඳහා නම් කළ  ශ්‍රී ලංකා තානාපතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී

 ජර්මනිය සඳහා නම් කළ  ශ්‍රී ලංකා තානාපතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී

ජර්මනිය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ මැතිනිය 2023 පෙබරවාරි 2 වැනි දින බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තා ය.

2000 වර්ෂයේ දී ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගත් කණ්ඩායමේ සාමාජිකාවක වන නම් කළ තානාපති මුතුකුමාරණ මැතිනිය, කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශය තුළ සහ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කොට ඇති අතර, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ වසර 23 කට අධික පළපුරුද්දක් එතුමිය සතු ය. අවසන් වරට එතුමිය විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපය, මධ්‍යම ආසියාව, යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස සේවය කළා ය.

විදේශීය දූත මණ්ඩලවල ද සේවයේ නිරත වූ තානාපති මුතුකුමාරණ මැතිනිය, කත්මණ්ඩු හි සාර්ක් ලේකම් කාර්යාලයේ සහ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ද සේවය කොට ඇත.

මුතුකුමාරණ මැතිනිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් සහ වොෂින්ටන් ඩීසී හි ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් විදේශ සේවය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. එතුමිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බර්ලිනය

2023 පෙබරවාරි 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close