පොකුරු අවිවලින් තොරවූ ලොවක් සඳහා සියලුදෙනාගේම කැපවීම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් අවශ්‍යයැයි තානාපති ඒ.එල් .ඒ. අසීස් පවසයි

පොකුරු අවිවලින් තොරවූ ලොවක් සඳහා සියලුදෙනාගේම කැපවීම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් අවශ්‍යයැයි තානාපති ඒ.එල් .ඒ. අසීස් පවසයි

 Image 02 (2)

 

පොකුරු අවි වලින් තොර ලෝකයක් පිළිබද ඉලක්කය ප්‍රායෝගිකව ළඟා කර ගැනීමට ඒ පිළිබදව මහත් කැපවීමක්, සාමූහික දැක්මක් මෙන්ම ඒකාබද්ධ ක්‍රියාමාර්ග සහ ප්‍රතිචාර අවශ්‍යයැයි, පොකුරු අවි පිළිබඳ සම්මුතිගත රාජ්‍ය පාර්ශවයන්ගේ 8 වන සැසිවාරයේ අවසාන සැසිය අමතමින්, එකී රාජ්‍ය පාර්ශවයන්ගේ මීලග සැසිවාරයේ සභාපති ධුරයෙන් පිදුම් ලැබූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී  ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා පැවසීය.

පොකුරු යුධ උපකරණ නිෂ්පාදනය, ගබඩා කිරීම, හුවමාරු කිරීම සහ භාවිතය තහනම් කිරීම අරමුණු කොට ගත් මෙකී  මුලික මානවහිතවාදී නිරායුධකරණ සම්මුතිය 2018 මාර්තු 01 වන දින අපරානුමිතික කළ ශ්‍රී  ලංකාව, එහි 103 වන පූර්ණ පාර්ශ්වකරුවා ලෙස 2018 සැප්තැම්බර් 3 වන දින ජිනීවාහි දී ආරම්භ කරන ලද තෙදින සැසියට සහභාගී වීම එහිදී විශේෂ ප්‍රශංසාවට ලක් විය.

2009 මැයි මාසයේදී අවසන් වූ, දශක තුනක් දිගු සන්නද්ධ ගැටුමින් අනතුරුව, ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසාර සාමය උදාකරලීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධාරණය කරමින් තානාපතිවරයා කියා සිටියේ; "ජාතික ජයග්‍රහණ මත ගොඩනගන ලද අපේ නායකත්වය, තිරසාර, සාමකාමී හා අන්තර්ගෘහිත සමාජයක් සාක්ෂාත් කර ගැනීමේලා වෙනත් රටවලට උත්ප්‍රේරකයක් මෙන්ම සාමය ගොඩනැගීමේ වටිනාකම හා ජාතික ප්‍රගමනය පිලිබඳ උත්තේජනයක් සැපයීමට සමත්  වනු ඇති බවය".

රාජ්‍ය පාර්ශවයන්ගේ 9 වන රැස්වීමේ සභාපති ලෙස තානාපති අසීස් මහතා පත් කෙරුණු මෙම වසර සම්මුතියේ 10 වන සංවත්සරය සලකුණු කරන කඩයිම් වසරක් සනිටුහන් කරන අතරම 2020 දී ස්විට්සර්ලන්තයේ සභාපතිත්වයෙන් පැවැත්වෙන සම්මුතියේ  දෙවන සමාලෝචන සම්මේලනය සඳහා ගම්‍යතාව ගොඩනැගීමේ වැදගත් සංක්‍රාන්ති කාල පරිච්චේදයක්ද වනු ඇත. 2019  සැප්තැම්බර් දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ වසරක සභාපතිත්වය තුලදී, උපදේශනය, සම්බන්ධීකරණය හා උපාය මාර්ගික දිශානතිය පිළිබඳව සිවිල් සමාජය සහ ආරක්ෂක ආයතනද ඇතුළු වූ බහු පාර්ශවික සංවාදයක් හා සක්‍රිය ක්‍රියාදාමයක් තුලින් සම්මුතියේ අරමුණු සහ සම්මතයන් ප්‍රවර්ධනය කිරිමට අපේක්ෂා කෙරේ.

2015 වසරේ සිට මානුෂීය නිරායුධකරණය සම්බන්ධයෙන්  ශ්‍රී  ලංකා රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය පියවරයන්  අවධාරණය කරමින් තානාපති අසීස් මහතා පැවසුයේ, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම සඳහා වන ඔටාවා සම්මුතිය අපරානුමිතික කිරිම තුලින්, සිවිල් ජනතාවගේ අවශ්‍යතා සහ ජාතික ආරක්ෂාව සමබර කරන රටක් ලෙස ශ්‍රී ලංකාව පිලිබඳ ව ඇති ධනාත්මක ප්‍රතිරූපය තවදුරටත් තහවුරු වූ බවයි.

ශ්‍රී  ලංකා දූත කණ්ඩායමට ප්‍රධාන ඉංජිනේරු මේජර් ජෙනරල් කුමාර පීරිස්, නියෝජ්‍ය  නිත්‍ය  නියෝජිත සමන්තා  ජයසූරිය සහ අමාත්‍ය  උපදේශක ශෂිකා  සෝමරත්න යන මහත්ම මහත්මීන් ද ඇතුළත් විය. ශ්‍රී  ලංකා සිවිල් සමාජය නියෝජනය කරමින් බිම් බෝම්බ තහනම් කිරිමේ ශ්‍රී  ලංකා මෙහෙයුම් සංවිධානයේ  සම්බන්ධීකාර විද්‍යා අබේගුණවර්ධන මහතා සහ ක්‍රියාකාරී යානිත්‍රා කුමාරගුරු මහත්මිය ඇතුළත් විය.

රාජ්‍ය පාර්ශවකරුවන් 104 දෙනෙකුගෙන් සමන්විත පොකුරු අවි පිළිබඳ සම්මුතිය සියලුම පොකුරු යුධ උපකරණ භාවිතා කිරීම, නිෂ්පාදනය කිරීම, හුවමාරු කිරීම හා ගබඩා කිරීම තහනම් කරන මානුෂීය අත්‍යාවශ්‍යතාවයෙන් මෙහෙයවන ලද නෛතික සම්මුතියකි. මීට අමතරව, එය වින්දිතයන් සහ ඔවුන්ගේ ප්‍රජාවන්ට ප්‍රමාණවත් ආධාර සැපයීම, දූෂිත ප්‍රදේශ පොකුරු අවි වළින්  මුක්ත  කිරීම, අවදානම් අඩු කිරීමේ අධ්‍යාපනය සහ අවි සංචිත විනාශ කිරීම සඳහා සහයෝගිතාව සහ සහාය සඳහා රාමුවක් ස්ථාපනය කරයි.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ජිනීවා
05 සැප්තැම්බර් 2018

 

Image 031

Print Friendly, PDF & Email
Please follow and like us:

Close