තුර්කියෙ හි ශ්‍රී ලංකා තානාපතිවරයා තුර්කියෙ‍ හි සංස්කෘතික හා සංචාරක අමාත්‍යවරයා හමුවෙයි

තුර්කියෙ හි ශ්‍රී ලංකා තානාපතිවරයා තුර්කියෙ‍ හි සංස්කෘතික හා සංචාරක අමාත්‍යවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක 2023 සැප්තැම්බර් 19 වන දින අන්කාරා හි සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ දී තුර්කි ජනරජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය මෙහ්මෙත් නූරි ඇර්සෝ මහතා හමුවිය.

සංස්කෘතික හා සංචාරක අමාත්‍යවරයා ලෙස අමාත්‍යවරයා පත් කිරීම පිළිබඳව තානාපතිවරිය සුබ පැතුම් එක් කළ අතර 2023 සැප්තැම්බර් 18 වන දින පොලාට් හි පැරණි පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන Gordion සෙල්ලිපිය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස හැඳින්වීම වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමුවාය.

ශ්‍රී ලංකාවේ විවාහ උත්සව සඳහා  ඇතැම් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් තවමත් ෆෙස් කැප්, දමිළ භාෂාවෙන් “තුර්කි තොප්පි” යනුවෙන් හඳුන්වන පළඳනාව පැළඳ සිටින බව සඳහන් කරමින්  මුහුදු සේද මාර්ගය හරහා වෙළෙඳ ප්‍රජාවන් සමඟ ව්‍යාප්ත වෙමින් පවතින සංස්කෘතික බලපෑම් සාක්ෂි වශයෙන් ගෙන තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව තානාපතිවරිය විසින් පෙන්වා දෙන ලදී. පුරාණ කාලයේ පමණක් නොව නූතන යුගයේ ද වෙළඳ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් දෙරටේ වැදගත්කම ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සැමරීම, තුර්කි ජනරජය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරීම සහ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන 2023 වසරේ වැදගත්කම තානාපතිවරිය විසින් අවධාරණය කරන ලදී.  2023 වසරේ සැමරීමට නියමිත ප්‍රධාන ක්‍රියාකාරකම් අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෙරටේම විදේශ කටයුතු අමාත්‍යාංශ සහ කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලය සමඟ එක්ව 2023 ඔක්තෝබර් 29 වැනි දින සංවත්සරය නිමිත්තෙන් තැපැල් මුද්දර නිකුත් කිරීමට කටයුතු කෙරේ. මුද්දර නිර්මාණය කිරීමට කීර්තිමත් ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පී වසන්ත පෙරේරා එකඟ වී ඇති බවත්, ඔහු ප්‍රදර්ශනයක් සඳහා සහ තුර්කියේ සිතුවම් මාලාවක් ආරම්භ කිරීම සඳහා මේ වසර අගදී තුර්කියට පැමිණෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

තානාපතිවරිය කෙටි කාලයක් තුළ තුර්කියේ පුරාවිද්‍යා ස්ථාන 25කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් සංචාරය කර තිබීම අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. තානාපතිවරිය සහ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සංචාරක ප්‍රවර්ධනය වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර, ඉස්තාන්බුල් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් නිසා ගුවන් ගාස්තු පහත වැටී ඇති අතර එමඟින් රටවල් අතර සංචාරක ප්‍රවර්ධනය ධනාත්මක වනු ඇති බව දන්වා සිටියාය.

සිංහලෙන් හඬ කවන ලද “කාඩින්” (කාන්තාවෝ) වැනි සුප්‍රසිද්ධ තුර්කි ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය වූ බව හා දිගු කාලීනව දෙරට අතර සංචාරක කර්මාන්තයට, ආර්ථික හා දේශපාලන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා දායකත්වය සපයන සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකත්වයේ කොටසක් ලෙස එවැනි රූපවාහිනී කතා මාලා මිනිසුන් අතර අවබෝධය වැඩි කරන ආකාරය තානාපතිවරිය විසින් අවධාරණය කරන ලදී.

සිනමාවේදී අනෝමා රාජකරුණා, සුප්‍රසිද්ධ ලේඛිකාවක් හා කිවිඳියක් වන සුනේත්‍රා රාජකරුණානායක සහ දැනට ඉස්තාන්බුල් මෙඩෙනියෙට් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන ස්වාධීන චිත්‍රපට නිෂ්පාදක සහ ලේඛක එරන්ද මහගමගේ යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් 2024 දී තුර්කියේ ශ්‍රී ලංකා සිනමා උළෙලක් සංවිධානය කරන බව තානාපතිවරයා සඳහන් කළේය.

දැනට නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරිනි නිලූකා කදුරුගමුව තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගේ “Red Haired Woman” සහ “My name is Red” යනුවෙන් නවකතා දෙකක් පරිවර්තනය කර ඇති බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවට වෙළඳ හා සංස්කෘතික ප්‍රවර්ධනයක් වන අදනා, අන්ටල්‍යා, බර්සා සහ ඉස්මීර් යන ප්‍රදේශවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දින උත්සව පිළිබඳව ද තානාපතිවරයා අමාත්‍යවරයා දැනුවත් කළේය. තානාපති කාර්යාලය විසින් සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් පිළිබඳව අමාත්‍යවරයා සිය උනන්දුව පළ කළ අතර පුළුල් ප්‍රසිද්ධියක් සඳහා සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර සිදුවීම් සමඟ මේවා ඒකාබද්ධ කිරීට සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. සංස්කෘතික හා සංචාරක ක්‍ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට අමාත්‍යවරයා සහතික විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 සැප්තැම්බර් 21

  

Print Friendly, PDF & Email
Please follow and like us:

Close