විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) ඉහළ මට්ටමේ රැස්වීමට සහභාගී වේ

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) ඉහළ මට්ටමේ රැස්වීමට සහභාගී වේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව 2023 සැප්තැම්බර් 19 වැනි දින නිව්යෝර්ක් හි පැවති ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) සහයෝගීතා ප්‍රතිඵල පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සහභාගී විය. “DGI for SDGs: Action and Progress” යන තේමාවෙන් පැවති මෙම රැස්වීම, චීනයේ උප ජනාධිපති හන් චන්ග් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවැනි පසුබිමක් හමුවේ පසුගිය වසර දෙක තුළ, චීන ප්‍රාරම්භනය හරහා ලබා දුන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කළේ ය. ගෝලීය සංවර්ධන හවුල්කාරිත්වයන් පුබුදුවාළීම සහ ශක්තිමත් කිරීම සහ හරිත සංකල්පයට අනුකූල හා හිතකර ගෝලීය සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම හරහා 2030 වසරට අදාළ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම සඳහා දරන ප්‍රයත්න ඊට ඇතුළත් ය. මෙම ක්‍රියාවලියේ දෙවන භාගය සාර්ථකව සාක්ෂාත් කරගැනීම සඳහා කුමන ආකාරයේ නව උපාය මාර්ග අනුගමනය කළ යුතුද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වන අප සිතමින් සිටින මෙවැනි මොහොතක, 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය හරහා නවමු ජවයක් ලැබෙන බවද එතුමා සඳහන් කළේ ය.

ප්‍රමුඛතාවයක් ලෙස සංවර්ධනය සඳහා කැපවීම; ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් වෙනුවෙන් කැපවීම; සියලු දෙනාටම ප්‍රතිලාභ ලබා දීම සහ කිසිම රටක් හෝ කිසිවෙකු අතහැර නොදැමීම සඳහා කැපවීම; නවෝත්පාදනය මත පදනම් වූ සංවර්ධනය වෙනුවෙන් කැපවීම; මානවයා සහ සොබාදහම අතර සමතුලිතතාව පවත්වාගෙන යාම සඳහා කැපවීම; ඵලදායි ක්‍රියාකාරකම් සඳහා කැපවීම යන ඇතැම් මූලධර්ම සඳහා ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය විසින් පදනම සපයා ඇති බවද විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය. තවද, ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය යටතේ පුනර්ජනනීය බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ද එතුමාගේ පැසසුමට ලක්විය.

2021 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතුරතුර, ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා විසින් මෙම ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය පිළිබඳව යෝජනා කරන ලදී. සංවර්ධනය සහ මිනිසුන් කෙරෙහි ප්‍රමුඛත්වය යොමු කරමින් ගෝලීය සංවර්ධනය සඳහා කැප වූ ප්‍රජාවක් ගොඩනැගීම අරමුණු කර ගත් මෙම ක්‍රියාවලිය, තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා උත්සාහ ගනී. පසුගිය වසර 2 තුළ ජාත්‍යන්තර සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් 100 කට අධික සංඛ්‍යාවක් ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය සඳහා සිය සහය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට අධික සංඛ්‍යාවක් ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ මිත්‍ර කණ්ඩායමට සම්බන්ධ වී ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 සැප්තැම්බර් 20 වැනි දින

...........................................

ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) සහයෝගීතා ප්‍රතිඵල පිළිබඳව පැවති ඉහළ මට්ටමේ රැස්වීම

2023 සැප්තැම්බර් 19 වැනි දින

ගරු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශය

චීනයේ උප ජනාධිපති අතිගරු හන් චන්ග් මැතිතුමනි,

සම්භාවනීය අමුත්තනි,

මහත්ම මහත්මියනි,

ඉතා කාලෝචිත මෙම ඉහළ පෙළේ ප්‍රාරම්භනය පැවැත්වීම සම්බන්ධයෙන් පළමුව මම චීන දූත පිරිසට මාගේ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.

අපගේ ලොව කෙතරම් අවදානමකට බඳුන් විය හැකිද යන්න කොවිඩ්-19 වසංගතය අපට පෙන්වා දී ඇත. මෙම වසංගත තත්ත්වය, දේශගුණික විපර්යාස, මූල්‍ය අර්බුදය, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ හටගත් බෙදීම් සහ ගැටුම් ඇතුළු වත්මන් ගෝලීය අභියෝග හේතුවෙන්‍ මෙතෙක් පැවති අසමානතා උග්‍ර තත්ත්වයට හැරී ඇත‍. තවද, උත්තර-දක්ෂිණ භේදය ද පුළුල් වී ඇත. තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ අඩක් දුර පැමිණ සිටින අප, මේ වන විට අවධානය යොමු කරන්නේ මෙම තිරසාර සංවර්ධන ඉලක්ක තවදුරටත් සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. මෙම අභියෝග හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නේ  සංවර්ධනය වෙමින් පවතින රටවල් ය.

ගෝලීය මූල්‍ය සැකැස්ම, සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා වැඩි වශයෙන් නියෝජනය කළ යුතු බවත්, ඊට වැඩි වශයෙන් ප්‍රතිචාර දැක්විය යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පසුගිය සතියේ දී කියුබාවේ පැවති G77 සහ චීනය නමැති රැස්වීමේ දී ප්‍රකාශ කළේ ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ වඩාත් සුබදායක අනාගතයක් නිර්මාණය කිරීම සඳහා, දෙවන ලෝක යුද්ධයෙන් පසු පැවති තත්ත්වය වෙනුවට වත්මන් තත්ත්වය පිළිබිඹු වන ආකාරයෙන් ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර ආයතන ප්‍රතිනිර්මාණය කළ යුතු බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙවැනි පසුබිමක් හමුවේ පසුගිය වසර දෙක තුළ, චීන ප්‍රාරම්භනය හරහා ලබා දුන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල සහ ප්‍රතිලාභ, ගෝලීය සංවර්ධන ප්‍රාරම්භන මිත්‍ර කණ්ඩායමේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාවේ පැසසුමට ලක් වේ. ගෝලීය සංවර්ධන හවුල්කාරිත්වයන් පුබුදුවාළීම සහ ශක්තිමත් කිරීම සහ හරිත සංකල්පයට අනුකූල හා හිතකර ගෝලීය සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම හරහා 2030 වසරට අදාළ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම සඳහා දරන ප්‍රයත්න ඊට ඇතුළත් ය.

ප්‍රමුඛතාවයක් ලෙස සංවර්ධනය සඳහා කැපවීම; ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් වෙනුවෙන් කැපවීම; සියලු දෙනාටම ප්‍රතිලාභ ලබා දීම සහ කිසිම රටක් හෝ කිසිවෙකු අතහැර නොදැමීම සඳහා කැපවීම; නවෝත්පාදනය මත පදනම් වූ සංවර්ධනය වෙනුවෙන් කැපවීම; මානවයා සහ සොබාදහම අතර සමතුලිතතාව පවත්වාගෙන යාම සඳහා කැපවීම; ඵලදායි ක්‍රියාකාරකම් සඳහා කැපවීම යන ඇතැම් මූලධර්ම සඳහා ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය විසින් පදනම සපයා ඇත. සභාපතිතුමනි, ශ්‍රී ලංකාව ද එම මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැපව සිටියි.

මෙම ක්‍රියාවලියේ දෙවන භාගය සාර්ථකව සාක්ෂාත් කරගැනීම සඳහා කුමන ආකාරයේ නව උපාය මාර්ග අනුගමනය කළ යුතුද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වන අප සිතමින් සිටින මෙවැනි මොහොතක, 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය හරහා නවමු ජවයක් ලැබේ. පළමුව, එය සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාවය ප්‍රතිසංවිධානය කිරීම, සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුතියක් ගොඩනැගීම සහ සංවර්ධනය නැවත ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ කේන්ද්‍රය වෙත ගෙන ඒම හරහා පොදු සංවර්ධනය උදෙසා සිය හඬ නඟයි. දෙවනුව, එය සම්පත් එකතු කිරීම, සංවර්ධනය අඩාළ කරන ගැටලු සඳහා විසඳුම් සෙවීම සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සඳහා ඉහළ සහයෝගීතාවයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රබල ආකාරයේ දායකත්වයක් ලබා දෙයි. තෙවනුව, එය 2030 න්‍යාය පත්‍රය කඩිනම් ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රමුඛතා ක්ෂේත්‍ර අටක් සහ අනුගමනය කළ හැකි මාර්ග ඉදිරිපත් කරමින් සහයෝගීතාව තුළින් සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා වේගවත් මාර්ගයක් නිර්මාණය කරයි. සිව්වැනි පියවර වශයෙන්, 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සහ ගෝලීය සංවර්ධනයේ අරමුණු වෙනුවෙන් තම භූමිකාවන් ඉටු කිරීමට සහ බුද්ධිමය සහය හා අදහස් මතවාද ලබා දීමට අවස්ථාව සැලසීම සඳහා චින්තන මණ්ඩලවලට සහ අධ්‍යයන ආයතනවලට ඇරයුම් කරයි.

සම්භාවනීය අමුත්තනි,

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත්කර ගත් ආර්ථික, සමාජීය සහ මූල්‍ය ස්ථාවරත්වය ජාත්‍යන්තර ප්‍රජාවේ ඇගයුමට ලක් වූ අතර, ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ මෙරට අපේක්ෂාවන් කෙරෙහි ඔවුහු සිය විශ්වාසය තබා ඇත. ශ්‍රී ලංකාව රටවල් 163ක් අතරින් 76 වැනි ස්ථානයේ පසුවන අතර, කලාපීය සාමාන්‍යයට වඩා බෙහෙවින් ඉහළ අගයක් වන 70.0ක ඉහළ අගයක් ලබා ඇත. යුනෙස්කැප් විසින් සිදු කරන ලද නවතම විශ්ලේෂණයට අනුව, තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ දත්ත පැවතීම සම්බන්ධයෙන් ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 53ක් අතරින් 10 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.

ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය යටතේ පුනර්ජනනීය බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහය අපි අගය කරමු. එහි අරමුදල යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති අගය කරන අප, ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය ක්‍රියාත්මක කිරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවට ලබා දුන්  ඇමරිකානු ඩොලර් බිලියන 10 ක නවතම විශේෂ අරමුදල වෙනුවෙන් සිය කෘතඥතාව පළ කර සිටියි.

ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනය හරහා දක්ෂිණ-දක්ෂිණ සහයෝගීතාව පිළිබඳ අපගේ ආයතනික හැකියාවන් වැඩිදියුණු වන බව අප හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාව දක්ෂිණ- දක්ෂිණ සහයෝගීතාව පිළිබඳ ඉහළ මට්ටමේ කමිටුවේ සභාපතිත්වය දරන විට මෙම ක්ෂේත්‍රය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

‘සියලු දෙනාම ආරක්‍ෂිත වන තෙක් කිසිවකු ආරක්‍ෂිත නොවේ’ යන පාඩම අප කොවිඩ් වසංගතය තුළින් ඉගෙන ගෙන තිබියදීත්, එය නොතකා, සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ දී සහයෝගයෙන් ක්‍රියා කරනවා වෙනුවට ධ්‍රැවීකරණය වී කටයුතු කිරීම හේතුවෙන්, මෙම තත්ත්වය හමුවේ ලබා ගත යුතු සැබෑ ප්‍රගමනයට බාධා එල්ල වීම කනගාටුවට කරුණකි.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close