රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව සහ යුනාන් පළාත අතර පවතින සබඳතා පුළුල් කිරීමට කටයුතු කරයි

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව සහ යුනාන් පළාත අතර පවතින සබඳතා පුළුල් කිරීමට කටයුතු කරයි

යුනාන් පළාතේ දූත පිරිසක් මෙරට සිදු කළ සංචාරය  සනිටුහන් කරමින් 2023 මාර්තු 23 වැනි දින ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ පැවති වැඩසටහනක් අතරතුර සිය අදහස් පළ කළ  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විශේෂයෙන්ම වෙළඳාම, ආර්ථිකය සහ සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍රවලට අදාළව චීනයේ යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව බොහෝ සමානකම් විදහා දක්වන බැවින්, එම පළාත සමඟ මෙරට සබඳතා තවදුරටත් පුළුල් කිරීමට උනන්දු වන බව සඳහන් කළේ ය.

 “ශ්‍රී ලංකාව සහ චීනය අතර සහ විශේෂයෙන්ම යුනාන් පළාත සමඟ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහනේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස රැස්ව සිටි පිරිස ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව යුනාන් පළාත සමඟ පවත්නා සබඳතා ක්‍රිස්තු වර්ෂ 15 වැනි සියවස තෙක් දිව යන බව සඳහන් කළ අතර, එකල යුනාන් පළාතේ අගනුවර වන කුන්මිං හි උපත ලැබූ අද්මිරාල් ෂෙන්ග් හේ දකුණු ආසියාව සහ මැදපෙරදිග රටවල සිදු කළ  සංචාරයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට ද පැමිණි බව ප්‍රකාශ කළේ ය.  ක්‍රිස්තු වර්ෂ 15 වැනි සියවසේ දී අද්මිරාල් ෂෙන්ග් හේ ගාල්ලේ සංචාරයක නිරත වූ බව සඳහන්ව ඇති සෙල්ලිපියක් සහිත ඵලකයක් ගාලු කොටුවේ තිබූ බවද එතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, චීනය සමඟ ශ්‍රී ලංකාව පවත්නා වාණිජ්‍ය සබඳතා ඉතා සුවිශේෂී වන බවත්, චීනය යනු ශ්‍රී ලංකාවේ 8 වැනි විශාලතම අපනයන වෙළඳපොළ බවත් සඳහන් කළේ ය. තේ, සක්‍රීය කාබන්, ඇඟලුම් අයිතම සහ කොහු බත් යනාදිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයන භාණ්ඩ බවට පත් වීමත් සමඟම, 2022 දී ශ්‍රී ලංකාව චීනය වෙත සිදු කළ අපනයනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 253.11 ක් බව එතුමා ප්‍රකාශ කළේ ය. චීනය ශ්‍රී ලංකාවේ අංක එකේ ආනයන ගමනාන්තය වූ අතර 2022 දී චීනයේ සිට මෙරට වෙත සිදු කරන ලද සමස්ත ආනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3523.00 කි. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව යුනාන් පළාත වෙත සිදු කරන අපනයන කටයුතු ඉහළ නංවන ලෙස එතුමා ඉල්ලා සිටියේ ය.

මැණික් හා ස්වර්ණාභරණ, හස්ත කර්මාන්ත, වේගවත්ව අළෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), කාබනික නිෂ්පාදන සහ විශ්‍රාන්ති අංශයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකික අපනයනකරුවන්, යුනාන් පළාතේ පැවැත්වීමට නියමිත කුන්මිං ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා උනන්දුවෙන් පසුවන බවද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. කොවිඩ්-19 වසංගතය සමය මධ්‍යයේ ද යුනාන් පළාතේ නියෝජිතයින්ගේ සහය ලබා ගත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලාංකික අපනයනකරුවන් 50 දෙනෙකුට අධික පිරිසකට මෙම ප්‍රදර්ශනය සඳහා අතථ්‍ය අයුරින් සහභාගී වීම සඳහා කටයුතු සැලසී ය.

මෑතක දී චීනයේ සිට මෙරටට පැමිණි සංචාරකයින් කණ්ඩායම් දෙකක් පිළිබඳව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, චීනයේ අගනුවර වන බීජිං සහ යුනාන් පළාත අතර පවත්නා භූගෝලීය දුර ප්‍රමාණය යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දුර ප්‍රමාණයට ආසන්න වශයෙන් සමාන වන බැවින්, ශ්‍රී ලංකාවේ සංචාරයේ නිතර වන ලෙස යුනාන් පළාතේ සංචාරකයින්ට ආරාධනා කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close