මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා ප්‍රථම වරට නයිරෝබිහි දී ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් පවත්වයි

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා ප්‍රථම වරට නයිරෝබිහි දී ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් පවත්වයි

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා ප්‍රමුඛ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, 2023 මාර්තු 25 වැනි දින නයිරෝබිහි දී ශ්‍රී ලාංකික සහ කෙන්යානු මුස්ලිම්වරුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම වරට ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් පැවැත්වී ය. ඉෆ්තාර් දුආ සහ යාච්ඥා උච්ඡාරණය කරමින් මෙම වැඩසටහන ආරම්භ වූ අතර ඉන් පසුව උපවාසය අත්හරින ලදී. ඉන් අනතුරුව සම්ප්‍රදායික පළමු ආහාර වේල ආරාධිතයන් වෙත පිළිගන්වන ලදී.

ආරාධිතයින් පිළිගනිමින් සිය අදහස් පළ කළ මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා, නයිරෝබි හි පැවති මෙම ඉෆ්තාර් භෝජන සංග්‍රහය හරහා ශ්‍රී ලාංකික සහ කෙන්යානු සම්භවයක් සහිත මුස්ලිම් සහෝදර ප්‍රජාව සමඟ උණුසුම් මිත්‍රත්වය බෙදා හදා ගැනීමටත්, විවිධ ඇදහිලි සහිත ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සාමූහිකත්වය  පිළිබඳ හැඟීමක් ප්‍රවර්ධනය කිරීමටත් හැකිවීම තමාට ලැබුණු ගෞරවයක් බව සඳහන් කළේ ය. රාමසාන් උත්සවය සමරන මෙම ශුද්ධ වූ මාසය තුළ සිදු කරනු ලබන ඉෆ්තාර් උත්සවයේ වැදගත්කම සහ සාමය, සහජීවනය සහ සෞභාග්‍යය පෝෂණය කිරීම සඳහා ආගමික සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මහ කොමසාරිස්වරයා විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

කෙන්යාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කළ රෆ්හාන්, ප්‍රථම වරට ඉෆ්තාර් උත්සවයක් පැවැත්වීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය දැරූ විශිෂ්ඨ උත්සාහය වෙනුවෙන් මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළේ ය. විශේෂයෙන්ම මුස්ලිම්වරුන් මෙම ශුද්ධ වූ රාමසාන් මාසය තුළ උපවාස කරන අතරතුර ඔවුන්ට ගෞරවය දැක්වීම සහ එකමුතුකම සහ මිත්‍රත්වය විදහා දැක්වීම සඳහා මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා ඉටු කරන විශිෂ්ඨ හා ක්‍රියාශීලී කාර්යභාරය හේතුවෙන් ශ්‍රී ලංකාව කෙන්යාව තුළ මැනවින් නියෝජනය වන බවත්, ගෞරවයට පාත්‍ර වන බවත් සඳහන් කළ  ඔහු විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අදහස් ඉදිරිපත් කරමින් සිය දේශනය නිම කළේ ය.

ශ්‍රී ලාංකික සහ කෙන්යානු මුස්ලිම්වරුන් සහ අනෙකුත් ආගම්වල බැතිමතුන් ඇතුළු අමුත්තන් 120 දෙනෙකු පමණ මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2023 මාර්තු 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close