ඉන්දුනීසියානු ජනරජය සඳහා නම් කළ තානාපති ජයනාත් කොළඹගේ මැතිතුමා සිය ධුරයේ රාජකාරි අරඹයි

ඉන්දුනීසියානු ජනරජය සඳහා නම් කළ තානාපති ජයනාත් කොළඹගේ මැතිතුමා සිය ධුරයේ රාජකාරි අරඹයි

ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ලෙස නම් කළ අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා 2023 ජනවාරි 30 වැනි දින ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ රාජකාරි භාරගත්තේ ය.

තානාපති කාර්යාලයට පැමිණි නම් කළ තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබී ය. කාර්ය මණ්ඩලය සමඟ එක්ව  චාරිත්‍රානුකූලව  පොල්තෙල් පහන දැල්වූ තානාපතිවරයා, ඉන් පසුව ඇරඹි චාම් උත්සවයක් අතරතුර සිය  ධුරයේ රාජකාරි භාරගත්තේ ය.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ තානාපතිවරයා, ඉන්දුනීසියානු ජනරජය ආර්ථිකය, දේශපාලන කටයුතු සහ ආරක්ෂක අංශ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලබා ඇති  ප්‍රධාන ජයග්‍රහණ පිළිබඳව සැලකිල්ලට ගනිමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව  අවධාරණය කළේ ය. 2023 වර්ෂයේ ASEAN හි සභාපති ධුරය දරන ඉන්දුනීසියාව එතුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත්, ශ්‍රී ලංකාවට සමස්ත කලාපය වෙත ප්‍රවේශ වීම සඳහා ඉතා වැදගත් හවුල්කරුවකු වන බවත් එතුමා සඳහන් කළේ ය. තවද, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව සමුද්‍රීය අසල්වැසියන් වන බවත්, සමුද්‍ර වෙළඳාමේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දෙරට අතර සහයෝගිතා යාන්ත්‍රණ සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බවත් එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

නම් කළ තානාපති කොළඹගේ මැතිතුමා මීට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළේ ය. වසර 36ක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ එතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයකු ද විය.

නම් කළ තානාපති අද්මිරාල් කොළඹගේ මැතිතුමා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව හා පාකිස්තානය යන රටවල විශ්වවිද්‍යාලවල සහ පුහුණු ආයතනවල ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත.  තවද එතුමා, ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයෙන් සිය දර්ශන විශාරද උපාධියත්, මැඩ්‍රාස් විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධියත්, ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්තේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2023 ජනවාරි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close