ශ්‍රී ලංකාව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති FITUR ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගි වේ

ශ්‍රී ලංකාව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති FITUR ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගි වේ

18-22 දින දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති FITUR ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ 42 වැනි අදියරට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සාර්ථකව සහභාගි විය. IFEMA Madrid ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලොව ප්‍රමුඛතම සංචාරක වෙළෙඳ ප්‍රදර්ශන අතරින් එකක් වන මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන සමාගම් 8360ක්, වෙළඳ සහභාගිවන්නන් 82,000ක් සහ 30,000කට අධික මහජනතාව සහභාගි විය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා, බාර්සිලෝනාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් අගුස්ටින් ලානාස් මහතා සහ ශ්‍රී ලාංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙරට හරවත් සංස්කෘතිය, සොබා සෞන්දර්යය, ආයුර්වේද ශිල්පය සහ සංචාරක ව්‍යාපාරය හා සබැඳි ශක්‍යතා සහිත අංශ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ඔස්සේ විදහා දක්වන ලදී. ස්පාඤ්ඤ වෙළඳපොළ තුළ ලංකා තේ  ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස අමුත්තන්ට ලංකා තේ පිරිනමන ලදී.

ලෝක සංචාරක සංවිධානය (UNWTO) මෙම ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කරන ලද උත්සවවලට සහභාගි වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ නිලධාරීහු, ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක සංචාරක සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හැරී හ්වාන්ග් මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ හ. තවද, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ව්‍යාපාරික රැස්වීම්, සුවිශේෂී මාධ්‍ය සම්මුඛ සාකච්ඡා සහ ගුවන් සේවා පිළිබඳ රැස්වීම් ද මෙම ප්‍රදර්ශනය අතරතුර සංවිධානය කරන ලදී.

2022 වසරේ දී ස්පාඤ්ඤ සංචාරකයින් 12,895 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණිය හ. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා ඉහළ විභවයක් සහිත වෙළඳපොළක් ලෙස ස්පාඤ්ඤය සැලකේ. FITUR වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගි වීම සහ ප්‍රදර්ශනය අතරතුර මාධ්‍ය සමඟ සම්බන්ධ වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව දැනුම්වත් කිරීමටත්, තොරතුරු යාවත්කාලීන කිරීමටත් අවස්ථාව සැලසිණි. මෙම ප්‍රදර්ශනයට  සාර්ථකව සහභාගි වීම සඳහා අවැසි පූර්ණ සහයෝගය  ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය වෙත පිරිනමන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරීසිය

2023 ජනවාරි 30 වැන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close