තානාපති ලක්ෂිත රත්නායක මැතිතුමා වෙනිසියුලාවේ දී සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

තානාපති ලක්ෂිත රත්නායක මැතිතුමා වෙනිසියුලාවේ දී සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපතිවරයා ලෙස සමගාමීව අක්ත ගන්වන ලද කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, 2023 ජනවාරි 10 වැනි දින කැරකාස් හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ මොරොස් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වී ය.

අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව පැවති කෙටි සංවාදය අතරතුර නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ජනාධිපතිවරයා, වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපති වශයෙන් කටයුතු කිරීමට නියමිත ධුර කාලය සාර්ථක කරගැනීම සඳහා තානාපතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළේ ය.

අනාගතයේ දී ගෝලීය දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා දෙරට අතර ශක්තිමත් සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපති මදුරෝ මැතිතුමා විසින් අවධාරණය කරන ලදී. ඛනිජ තෙල්, ස්වාභාවික වායුව, රත්‍රන් ආදී ක්ෂේත්‍ර ආශ්‍රිත ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට මංපෙත් විවර කිරීමට තම රට උනන්දුවෙන් පසුවන බවද එතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

තානාපති රත්නායක මැතිතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පළ කළ සුබපැතුම් ජනාධිපති මදුරෝ මැතිතුමා වෙත පිරිනැමී ය. දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා විශේෂයෙන් ජාත්‍යන්තර අන්තර්ක්‍රියා, සෞඛ්‍ය සේවා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, කෘෂිකර්මය සහ සමුද්‍රීය කටයුතු යන ක්ෂේත්‍ර ආශ්‍රිතව සමීප ආර්ථික සබඳතා පැවැත්වීමටත්, ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පවතින සියලුම මාර්ග ගවේෂණය කිරීමටත් කටයුතු කරන බවට එතුමා ජනාධිපතිවරයා හමුවේ සහතික විය.

තානාපති රත්නායක මැතිතුමා මෙම සංචාරය අතරතුර ආසියාව, ඕෂේනියාව සහ මැද පෙරදිග පිළිබඳ උප අමාත්‍ය කපායා රොඩ්‍රිගස් මහත්මිය සහ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ උප අමාත්‍ය රූබන් ඩාරියෝ මොලිනා මහතා හමුවී සාකච්ඡා පැවැත්වී ය.

1998 වසරේ සිට විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවයේ යෙදෙන තානාපති රත්නායක මහතා, හවානා හි ලද පත්වීමට පෙර, විදේශ කටයුතු අමාත්‍යංශයේ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හවානා

2023 ජනවාරි 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close