තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය අන්කාරා නුවර ආණ්ඩුකාරවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය අන්කාරා නුවර ආණ්ඩුකාරවරයා හමුවෙයි

අන්කාරා හි ආණ්ඩුකාරවරයා වන වසිප් සහින් මැතිතුමා මෑතක දී හමු වූ තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය, තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ඵලදායි සාකච්ඡාවක නිරත විය.

ඔටෝමන් අධිරාජ්‍යය 1864 වසරේ දී ශ්‍රී ලංකාව සඳහා නිර්වේතනික කොන්සල්වරයකු පත් කිරීමත් සමඟ දෙරට අතර  විධිමත් සබඳතා ආරම්භ වූ බව තානාපතිනිය මෙහිදී සිහිපත් කළා ය. එම නිර්වේතනික කොන්සල්වරයා ගාල්ලේ සිටිමින් සේවය කර ඇත.

2023 වසරේ දී තුර්කිය සිය 100 වැනි නිදහස් සංවත්සරය සමරන අතර ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන බැවින්, මෙම වසර දෙරට අතර පවත්නා සබඳතා සඳහා ඉතා සුවිශේෂී වසරක් වන බවද තානාපති දිසානායක මැතිනිය සඳහන් කළා ය. ශ්‍රී ලංකාව සහ තුර්කිය, දෙරට අතර ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට වසර  75 ක් සපිරීමේ සංවත්සරය සමරනු ඇත.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම පිළිබඳව අවධාරණය කළ ආණ්ඩුකාර වසිප් සහින් මැතිතුමා, ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සිදු වන වෙළඳාම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුර්කියට වැදගත් වන ආකාරය පිළිබඳව සඳහන් කළේ ය.

මෙම පසුබිම තුළ, ඓතිහාසික සබඳතා කෙරෙහි අවධානය යොමු කරන අතරතුර, ආර්ථික සහයෝගිතාවයෙන් ඔබ්බට ගොස් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන බව ආණ්ඩුකාරවරයා සහ තානාපතිනිය පිළිගත් හ.

තානාපති දිසානායක මැතිනිය සහ අන්කාරා ආණ්ඩුකාර වසිප් සහින් මැතිතුමා මෙම හමුවේ දී, තේ ප්‍රමාණය ඉහළ නැංවීම ඇතුළු ද්විපාර්ශ්වික වෙළඳාම වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ හ. ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික වෙළඳාම ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාගැනීම සම්බන්ධයෙන් වන තුර්කියේ ඉලක්කය කරා ළඟා වීමට එමඟින් දායකත්වය ලබා දිය හැකි ය. ශ්‍රී ලංකාව නිපදවන අගය එකතු කළ විශේෂිත තේ වර්ග භුක්ති විඳීමේ අවස්ථාව ඉහළ බදු හේතුවෙන් තුර්කියට අහිමි වී ඇති බව තානාපතිනිය විසින් අවධාරණය කරන ලදී. දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තානාපති කාර්යාලය තුර්කි ගුවන් සේවය සමඟ දැනටමත් කටයුතු කරමින් සිටින බවද එතුමිය මෙහිදී සඳහන් කළා ය.

2004 දී සිදු වූ සුනාමි ව්‍යසනය හමුවේ තුර්කි රජය ශ්‍රී ලංකාවට ලබා දුන් මානුෂීය ආධාර මෙන්ම 2022 වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකාවට පිරිනැමූ වෛද්‍ය සැපයුම් පරිත්‍යාගය තානාපතිනියගේ පැසසුමට ලක්විය. විශේෂයෙන්ම තුර්කියේ හෝටල් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා පවතින ඉහළ රැකියා අවස්ථා ද එතුමියගේ ඇගයීමට ලක් විය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට 75 වසරක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් අන්කාරා සහ කොළඹ නගර අතර සහෝදර නගර සහයෝගිතාව පැවැත්වීමේ හැකියාව පිළිබඳ යෝජනාවක් තානාපතිනිය විසින් ඉදිරිපත් කෙරිණි. අවබෝධතා ගිවිසුමක් හරහා එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුකාරවරයා සිය කැමැත්ත පළ කළේ ය.

තානාපතිනිය අන්කාරා හි සේවය කරන ධුර කාලය තුළ එතුමියගේ සියලුම මුලපිරීම් සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට ආණ්ඩුකාරවරයා සහතික විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 ජනවාරි 17 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close