කුවේටයේ තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ නත්තල් උත්සවය සමරයි

කුවේටයේ තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ නත්තල් උත්සවය සමරයි

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කුවේටයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව, උත්සව සමය තුළ සාමය සහ සංහිඳියාව සනිටුහන් කිරීමේ අරමුණින් 2022 දෙසැම්බර් 22 වැනි දින සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී නත්තල් උත්සවය සැමරුවේ ය. තානාපතිවරයා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම ආගම්වලට සහ ජනවර්ගවලට අයත් ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

නත්තලේ වැදගත්කම අවධාරණය කරමින් නත්තල් පණිවිඩය ඉදිරිපත් කළ ගරු අයිවන් පෙරේරා පියතුමා, ලෝකය තුළ සැබෑ සහ තිරසාර සාමයක් උදා කරගැනීම සඳහා ප්‍රේමය සහ දයාව ඉතා වැදගත් වන බව ප්‍රකාශ කළේ ය. එළඹෙන වසර ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් වසරක් බවට පත් කරගැනීම සඳහා උන්වහන්සේ සියලුම ශ්‍රී ලාංකිකයන් ආශිර්වාද කළහ.

උත්සව පරිශ්‍රයට සැබෑ උත්සව සිරියක් ගෙන එමින්, මුතු හංස නර්ථන ඇකඩමියේ සිසුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත නිරූපණය වන ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සහ ඔවුන්ගේ දරුවන් කැරොල් ගීත ගායනා කළහ. ළමුන් සඳහා තෑගි බෝග රැගෙන පැමිණි නත්තල් සීයා මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය. මෙම අවස්ථාවට සහභාගී වූ අමුත්තන්ට ප්‍රණීත නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කුවේටය

2022 දෙසැම්බර් 28 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close