සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නත්තල් උත්සවය සමරයි

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නත්තල් උත්සවය සමරයි

යැදුම්, කැරොල් ගායනා සහ විනෝදාස්වාදය සපිරි සන්ධ්‍යාවකින් සමන්විත නත්තල් උත්සවයක් 2022 දෙසැම්බර් 28 වැනි දින සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී පවත්වන ලදී.

සිංගප්පූරුවේ සුරදූතයන්ගේ සාන්ත මරියාවන් දේවස්ථානයේ ගරු ජූලියන් මරියරත්නම් පියතුමා සිදු කළ ආරම්භක යැදුමෙන් සහ මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය ඉදිරිපත් කළ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව මෙම උත්සවය ආරම්භ කෙරිණි. නත්තල යනු ජේසු සමිඳුන්ගේ උපත මෙන්ම දයාව හා කරුණාව දැක්වීමේ වැදගත්කම සිහිපත් කරන්නාවූ උන්වහන්සේගේ ඉගැන්වීම් සමරනු ලබන උත්සවයක් බව සිහිපත් කළ ජූලියන් පියතුමා කෙටි දේශනාවක් පැවැත්වී ය.

මෙම උත්සවයට සපැමිණ පිරිස පිළිගත් මහ කොමසාරිස් ප්‍රේමවර්ධන මැතිනිය සාමය, සහජීවනය සහ සාමූහිකත්වය තුළින් සියලු දෙනාම එකමුතු කිරීම සම්බන්ධයෙන් නත්තල් උත්සවය සතු වැදගත්කම පිළිබඳව අවධාරණය කළා ය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික අර්බුදය හමුවේ එකිනෙකාට දයානුකම්පාව සහ සහයෝගය දැක්වීමේ වැදගත්කම පිළිබඳව සඳහන්ව ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නත්තල් පණිවිඩය මහ කොමසාරිස්වරිය විසින් මෙහිදී උපුටා දක්වන ලදී. කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ සහ වත්මන් අසීරු ආර්ථික තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවත්නා සබඳතා මඟින් එම දයානුකම්පාව සහ සහයෝගය දැක්වීමේ ස්ප්‍රීතුව සපථ වී ඇති බවද එතුමිය මෙහිදී ප්‍රකාශ කළා ය.

වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට සහය වීමට සහ ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිත කිරීමට ටෙමාසෙක් ජාත්‍යන්තර පදනම, අනෙකුත් පුණ්‍යායතන සහ සිංගප්පූරු ප්‍රජාව හරහා සිංගප්පූරු රජය ලබා දුන් අගනා සහය මහ කොමසාරිස්වරිය මෙහිදී සිහිපත් කළා ය. ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික සහ බහු ආගමික ස්වභාවය විදහා දක්වන ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි ප්‍රජාව ශ්‍රී ලංකාවේ සමාජ සැකැස්මේ වැදගත් සහ අත්‍යවශ්‍ය අංගයක් වන බවද මහ කොමසාරිස්වරිය විසින් පෙන්වා දෙන ලදී.

අවසාන යැදුම සිදු කළ සිංගප්පූරුවේ True Light Community දේවස්ථානයේ ගරු ආචාර්ය සැමුවෙල් කුන්ජුමෝන් පියතුමා ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ආශිර්වාද කරමින් ආගමික වතාවත් අවසන් කළේ ය.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් නත්තල් කැරොල් ගීත ගායනා කරන ලදී. නත්තල් සීයා ඉන් අනතුරුව පැමිණ සිටි කුඩා දරුවන්ට තෑගි බෝග බෙදා දුන්නේ ය.

සහභාගී වූ අමුත්තන් සියලුම දෙනාට සන්ධ්‍යා තේ පැන් සංග්‍රහයක් පිළිගැන්වීමෙන් අනතුරුව මෙම උත්සවය අවසන් කෙරිණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2022 දෙසැම්බර් 30 වැනි දින  

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close