තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මැතිනිය අන්කාරාහි දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මැතිනිය අන්කාරාහි දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තුර්කි ජනරජය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා තානාපතිනිය වන සාරන්‍යා හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, තුර්කි ජනරජය සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපති වශයෙන් 2022 දෙසැම්බර් 27 වැනි දින අන්කාරා හි පිහිටි ජනාධිපති කාර්යාල සංකීර්ණයේ දී තුර්කි ජනරජයේ ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

ජනාධිපති එර්ඩොගන් මැතිතුමා මෙම හමුව අතරතුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමුවේ ය. ඔටෝමන් අධිරාජ්‍ය පැවති සමය තෙක්, එනම් 09 වැනි සියවස දක්වා වූ අතීතයකට දිව යන සබඳතා සහිත තුර්කියේ සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද එතුමා තවදුරටත් සිහිපත් කළේ ය. ඔටෝමන් අධිරාජ්‍යය 1864 වසරේ දී ශ්‍රී ලංකාව සඳහා නිර්වේතනික කොන්සල්වරයෙකු පත් කිරීමත් සමඟ දෙරට අතර ප්‍රථම විධිමත් සබඳතා ආරම්භ වූ බව එතුමා මෙහිදී සඳහන් කළේ ය. එම නිර්වේතනික කොන්සල්වරයා ගාල්ලේ සිටිමින් සේවය කර ඇත.

තමන් තුර්කියේ අග්‍රාමාත්‍යවරයා ලෙස 2005 වසරේ දී කටයුතු කළ අවධියේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපති එර්ඩොගන් මැතිතුමා, තුර්කි රජය ශ්‍රී ලංකාවට ලබා දුන් මානුෂීය ආධාර මෙන්ම 2022 වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකාවට පිරිනැමූ වෛද්‍ය සැපයුම් පරිත්‍යාග පිළිබඳව ද සිහිපත් කළේ ය.

තුර්කි ගුවන් සේවය, කොවිඩ්-19 වසංගතය අතරතුර ඉස්තාන්බුල් සහ කොළඹ අතර සිය සේවා අඛණ්ඩව පවත්වාගෙන ගිය ගුවන් සමාගම් කිහිපය අතරින් එකක් බව සඳහන් කළ ජනාධිපති එර්ඩොගන් මැතිතුමා, තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අඛණ්ඩව සහය දැක්වීම පිළිබඳව සිය සතුට පළ කළේ ය.

ජනාධිපති එර්ඩොගන් මැතිතුමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළ තානාපති දිසානායක මැතිනිය, ජ්‍යෙෂ්ඨ වෘත්තීයමය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් ලෙස සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමන් වෙත පිරිනැමූ නිල වරමට අනුව, දෙරට අතර පවත්නා දිගුකාලීන සහ සුහදශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දැඩි ලෙස කැපවන බව ප්‍රකාශ කළා ය. ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපතිවරයාට සහ රජයට ද එතුමිය සිය ස්තුතිය පුද කළා ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලනික තත්ත්වය පිළිබඳව ජනාධිපති එර්ඩොගන් මැතිතුමා දැනුම්වත් කළ තානාපති දිසානායක මැතිනියදෙරටේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ඓතිහාසික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා තමාගේ උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට සහතික විය.

සංවර්ධනය සඳහා ඉවහල් වන පූර්ව අවශ්‍යතාවක් ලෙස සැලකෙන කාන්තාවන් සවිබල ගැන්වීමට තුඩු දුන් “කෙමාලිස්ට්” මතවාදයේ අංගයක් වන අනුගාමික, බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඔස්සේ ජාතිය නවීකරණය කිරීමට ක්‍රියා කළ, තුර්කි ජනරජයේ දූරදර්ශී ආරම්භක පියා ලෙස සැලකෙන මුස්තාෆා කෙමාල් අටටුර්ක් මැතිතුමාගෙන් තමන් ලබා ගත් පන්නරය පිළිබඳව තානාපති දිසානායක මැතිනිය මෙහිදී සඳහන් කළා ය.

ප්‍රවීණයකු වන මුස්තාෆා කෙමාල් අටටුර්ක් මැතිතුමාගේ දූරදර්ශී නායකත්වය කාන්තාවන් ඇතුළු සියලුම පුරවැසියන්ගේ විමුක්තිය සලසමින් රට නවීන රාජ්‍යයක් බවට පත් කර ඇති බවත්, සැමට සාධාරණය ඉටු කිරීම සඳහා යුක්තිය සහ නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ඇති බවත්, එය සැබවින්ම ගෝලීය වශයෙන් නිර්මාණශීලී අදහසක් බවට පත්ව ඇති බවත් එතුමිය මෙහිදී ප්‍රකාශ කළා ය. දිගුකාලීන මිත්‍රත්වය ගත් කල, මෙය දෙරටේ පොදු දැක්ම බවට පත්ව ඇති බවද තානාපති දිසානායක මැතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

2023 වසරේ දී තුර්කිය සිය 100 වැනි නිදහස් සංවත්සරය සමරන අතර ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන බැවින් මෙම වසර, දෙරට අතර පවත්නා සබඳතා සඳහා වෙන් වෙන් වශයෙන් සහ ද්විපාර්ශ්වික වශයෙන් ඉතා සුවිශේෂී වසරක් වන බවද තානාපති දිසානායක මැතිනිය සඳහන් කළා ය. ශ්‍රී ලංකාව සහ තුර්කිය, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට වසර 75 ක් සපිරීමේ සංවත්සරය සමරනු ඇත.

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 16 වැනි සමුළුව 2023 වසරේ දී පැවැත්වීමට කැපවීම, ගෝලීය ශුන්‍ය අපද්‍රව්‍ය මුලපිරීම සහ ලොව විශාලතම තරංග බලශක්ති ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කිරීම ඇතුළුව දේශගුණය සහ පරිසරය පිළිබඳව ජනාධිපති එර්ඩොගන් මැතිතුමා ක්‍රියාත්මක කරන මුලපිරීම් වෙනුවෙන් තානාපති දිසානායක මැතිනිය ජනාධිපතිවරයාට සුබපැතුවා ය. කළු මුහුදේ ධාන්‍ය මුලපිරීම සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් විදහා දක්වන මෘදු රාජ්‍යතාන්ත්‍රික කුසලතා සහ සිරියානු සරණාගතයන් මිලියන 3.6 ක් සහ අනෙකුත් සරණාගතයන් 400,000 ක් සඳහා සත්කාරකත්වය සපයන තුර්කිය මෙහිදී ඉමහත් පැසුසමට ලක්විය.

ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම් අවසන් කිරීමේ අවශ්‍යතාවය, ද්විත්ත්ව බදුකරණය වැළක්වීම සහ රේගු කටයුතු පිළිබඳ කරුණු යනාදිය ද්විපාර්ශ්වික ආයෝජන සහ වෙළඳාම ආශ්‍රිත සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පවතින ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස හඳුනාගන්නා ලදී. අධ්‍යාපනය, සංස්කෘතිය, තාක්ෂණය, බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍රවලට අදාළ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

තුර්කි නවකතා රචකයකු, තිර රචකයකු සහ විද්වතකු වන නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ඔර්හාන් පමුක් මහතාගේ නවකථා දෙක මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරිනියකු වන නිලූක කදුරුගමුව මහතා‍ සිංහල බසින් පරිවර්තනය කර ඇති බව සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී හඳුනාගන්නා ලදී.

සිය අදහස් පළ කළ තානාපතිනිය, තුර්කි ගුවන් සේවය සහ කොළඹ සිටින තුර්කි තානාපතිවරයා සමඟ එක්ව ආර්ථික සහයෝගීතාව ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් සමීප සහයෝගයෙන් කටයුතු කරන බවත් ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ 3 වැනි සැසිවාරය අන්කාරා හි පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළා ය.

1996 වසරේ දී ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ සාරන්‍යා හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, මීට පෙර වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති සහ ෂැංහයි හි කොන්සල් ජනරාල් වශයෙන් සේවය කර ඇති අතර ජපානය, ස්වීඩනය සහ ඉතාලිය යන රටවල අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික තනතුරු දරා ඇත.

තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්වීමට පෙර එතුමිය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු, දේශගුණික විපර්යාස සහ පරිසරය පිළිබඳ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කළා ය.

විවාහකයකු වන එතුමියට එක් දියණියක් සිටියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 දෙසැම්බර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close