ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කත්මණ්ඩුහිදී දීපාවලී සමරයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කත්මණ්ඩුහිදී දීපාවලී සමරයි

2021 ඔක්තෝබර් 27වන දින කත්මණ්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නේපාලයේ තිහාර් ලෙස හඳුන්වනු ලබන දීපාවලී උත්සවය සමරනු ලැබීය.

2021 නොවැම්බර් 4 සිට දින පහක් පුරා නේපාලයේ දීපාවලී සැමරුම් පැවැත්වෙන අතර, ධනයට අධිපති දෙවඟන වන ලක්ෂ්මී දෙවඟන නැමදීමට සහ මරණයට අධිපති දෙවිඳුන් වන යම දෙවියන් වෙත ගෞරවය පුද කිරීම සඳහා මෙම සැමරීම් සිදු කෙරේ.

තානාපති කාර්යාල පරිශ්‍රය වර්ණවත් රංගෝලී රටාවන්, සාම්ප්‍රදායික පහන් ප්‍රදීපයන්ගෙන් සාම්ප්‍රදායානුකූල ලෙස අලංකාර කොට තිබිණි. ලක්ෂ්මී දෙවඟනගේ ආශිර්වාදය පතා පණ්ඩිත් හේම් ශර්මා විසින් පවත්වන ලද විශේෂ පූජාවකින් මෙම උත්සව අවස්ථාව ආරම්භ විය. තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකාවේ හා නේපාලයේ මෙම උත්සවය සැමරීමේදී පවත්නා නානාවිධ වූ සංස්කෘතික සම්මතයන් පිළිබඳ සහභාගි වූ පිරිස සමඟ දැනුම බෙදාගන්නා ලදී.

නේපාල ජාතික කාර්යමණ්ඩල සාමාජිකයෝ තිහාර්/දීපාවලී උත්සව සමයේදී සාමාන්‍යයෙන් ගයනු ලබන සාම්ප්‍රදායික නේපාල ගීතවලින් ආරාධිතයන් පිනවූහ. ආරාධිතයින් වෙත සාම්ප්‍රදායික රසකැවිලි සහ ආහාර පිරිනමමින් මෙම උත්සව අවස්ථාව අවසන් විය. කත්මණ්ඩු නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ, තානාපති කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කත්මණ්ඩු

2021 ඔක්තෝබර් 29

Print Friendly, PDF & Email
Please follow and like us:

Close