ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේදී තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් සභාගත කරයි 

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේදී තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් සභාගත කරයි 

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 5වන රැස්වීමේදී සලකා බැලීම පිණිස, 2021 ඔක්තෝබර් 25 සිට 29 දක්වා නයිරෝබි නුවරදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නිත්‍ය නියෝජිත කමිටුවේ 8වන වාර්ෂික අනුකමිටු රැස්වීමේදී ශ්‍රී ලංකාව විසින් තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. නයිට්‍රජන් චක්‍රය පිළිබඳ කටයුතු කිරීම වෙනුවෙන් සාමාන්‍ය කාලරාමුවක් සපයන ලද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ 4වන සමුළුවේදී අදාල කරගන්නා ලද යෝජනාවට සිදු කරන ලද වැඩිදුර යෝජනාවක් ලෙස ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සලකන ලදී. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මෙන්ම කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන වේලුපිල්ලෛ කණනාදන් මහතා නිත්‍ය නියෝජිත කමිටුවේ 8වන වාර්ෂික අනුකමිටු රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව විසින් කෙටුම්පත් යෝජනාව සභාගත කර, එහි අන්තර්ගත කරුණු හා අරමුණු පැහැදිලි කර ඇති බව ය. ඉදිරිපත් කරන ලද යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ 4වන සමුළුවේදී අදාල කරගන්නා ලද යෝජනාව සම්බන්ධයෙන් දෙවන අදියරගත ක්‍රියාමාර්ගය සඳහා මග සැලසී ඇති බවත්, එම වැඩසටහනේ 5වන සමුළුවේදී විස්තීර්ණ ක්‍රියාමාර්ග යෝජනා කරමින් තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ නව අගය එකතුකිරීමක් අන්තර්ගතව ඇති බවත් මහ කොමසාරිස් කණනාදන් මහතා පැහැදිලි කළේය.

තිරසර නයිට්‍රජන් කළමනාකරණය කිරීමක් පවත්වාගෙන යාම වෙනුවෙන් අන්තර් සම්මුති නයිට්‍රජන් සම්බන්ධීකරණ යන්ත්‍රණයක් (INCOM) ස්ථාපිත කිරීම මගින් ආධාර විය හැකි නයිට්‍රජන් චක්‍රයේ වපසරිය ආවරණය කිරීම හරහා 2030 වර්ෂය වන විට නයිට්‍රජනීය අපද්‍රව්‍ය ප්‍රමාණය අර්ධ වශයෙන් අඩු කිරීම කෙරෙහි මෙම කෙටුම්පත් යෝජනාව මගින් අවධානය යොමු කර ඇති බව මහ කොමසාරිස් කණනාදන් මහතා අවධාරණය කළේය. ඉදිරිපත් කරන ලද යෝජනාව තුල නව අංග ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දුන්, 2019 දී අදාල කරගන්නා ලද කොළඹ ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පැසසුමට ලක් විය. ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය විසින් නායකත්වය ලබා දෙන ලදුව, තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය යනුවෙන් හඳුන්වනු ලබන නයිට්‍රජන් අභියෝග සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා යෝජිත මගසැලැස්ම එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් අනුමත කරන ලද බව සිහි කළ හැකිය.

කෙටුම්පත් යෝජනාව මගින් අන්තර් සම්මුති නයිට්‍රජන් සම්බන්ධීකරණ යන්ත්‍රණය (INCOM) පිළිබඳ සමස්ත සංකල්පය සම්බන්ධයෙන් පුළුල් එකඟතාවකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, පසුකාලීනව, මෙම කෙටුම්පත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ 6වන සමුළුවට පෙර සවිස්තරාත්මක නියමයන් යෝජනා කෙරෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහ සාමාජික රාජ්‍යයන්හි සහාය සහිතව, 2030 වර්ෂය වන විට නයිට්‍රජනීය අපද්‍රව්‍ය අර්ධ වශයෙන් අඩු කිරීමේ උසස් අරමුණ ළඟාකරගැනීම පිණිස, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධාන ජාතික ආයතනය වන පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් ආරම්භ කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ 5වන සමුළුවේදී සලකා බැලීම සඳහා සහ එම වැඩසටහනේ 6වන සමුළුවේදී අනුමැතිය ලබා ගැනීම සඳහා මෙම කෙටුම්පත් යෝජනාව සකස් කරන ලදී.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2021 ඔක්තෝම්බර් 29 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close