රුසියාව තුල සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ප්‍රවර්ධනය කිරීම

 රුසියාව තුල සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ප්‍රවර්ධනය කිරීම

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විවිධ රටවල වෙස් මුහුණු, අත්කම් නිර්මාණ හා සංස්කෘතීන් පිළිබඳ ප්‍රදර්ශන හා දේශන සංවිධානය කරමින් රට පුරා සංචාරයේ නිරත වන "Traditional Masks and Figures of the World" නමැති ජංගම Club-Museum-Lecture Hall වෙත ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෙස් මුහුණු එකතුවක් පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා ජාතික අත්කම් නිර්මාණ සභාවෙන් ලද වෙස් මුහුණු අතරට ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ දෑතින් හැඩගැන්වුණු කෝලම් වෙස් මුහුණු, සන්නි වෙස්මුහුණු, සළුපාලිය වෙස් මුහුණු, රාක්ෂ වෙස් මුහුණු යනාදිය ඇතුලත් විය.

විවිධ කලාපවලට අයත් වෙස් මුහුණු හා අනුරූ වෙනුවෙන් ඉදි කර ඇති කෞතුකාගාරයේදී පවත්වන ලද එක් දේශන වාරයක් අතරවාරයේදී පැවැති භාරදීමේ උත්සව අවස්ථාවකදී තානාපති කාර්යාලයේ සංස්කෘතික හා අධ්‍යාපන කටයුතු පිළිබඳ ප්‍රථම ලේකම්වරිය වන නිරෝෂා එච්.හේරත් මහත්මිය ශ්‍රී ලාංකික සංස්කෘතියට අදාල වෙස් මුහුණු හා චාරිත්‍ර පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළාය. තානාපති කාර්යාලය මගින් ඉදිරිපත් කරන ලද වෙස් මුහුණු මෙන්ම ඒ හා බැඳි සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් සම්බන්ධයෙන් ද ප්‍රේක්ෂකාගාරය මහත් උනන්දුවෙන් පසු විය.

"Traditional Masks and Figures of the World" කෞතුකාගාරය වෙත ඉදිරිපත් කරන ලද වෙස් මුහුණු හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර මෙරට පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමට දායක වනු ඇත.

රුසියාව තුල ශ්‍රී ලාංකික සංස්කෘතිය, එහි ඉපැරණි ඉතිහාසය මෙන්ම සම්ප්‍රදායන් ප්‍රචලිත කිරීමේ අරමුණින් තානාපති කාර්යාලය විසින් ගනු ලබන ප්‍රයත්න මාලාවේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 ඔක්තෝබර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close